විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “සක්වල” වැඩසටහන යටතේ පාසල් වල ප්‍රයෝජනය සදහා බස්රථ ලබාදීම සිදුකරනු ලබන අතර එහි 53 වන බස් රථය අද (28) අතුරුගිරිය මහාමාත්‍ය මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීම විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුනි.

මෙම පාසල සදහා බස් රථයක අවශ්‍යතාව කඩුවෙල සමගි ජන බලවේගයේ සංවිධායිකා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් විපක්ෂ නායක වෙත දැනුම් දීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කල සොයාබැලීමේදී පාසලට බස් රථයක් නොතිබීම මත මේ වසර තුලදී පමණක් ප්‍රවාහන වියදම් ලෙස රුපියල් ලක්ෂ 25 ක් පාසල මගින් වියදම් කර ඇති බව අනාවරණය වීමෙන් පසු කඩිනමින් මෙම පාසල සදහා බස් රථයක් ලබාදීමට “සක්වල” වැඩසටහන යටතේ කටයුතු කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා සදහන් කලේ, අධ්‍යාපනයට ආයෝජනය කිරීම රටක් සංවර්ධනයට කරන හොදම ආයෝජනය බවයි. ආදායම් උපද්දවිය නොහැකි පුහුදේවල් සදහා නොව රජයක් මුදල් වැයකල යුත්තේ අනාගතය ගැන සිතා මෙවැනි දේ සදහා බවත් පෙන්වාදුන් විපක්ෂ නායකවරයා තමන් ජනපති අපේක්ෂක ලෙස පාසල් දරුවන්ට අංග සම්පූර්ණ නිළ ඇදුම් කට්ටලයක් ලබාදෙන බව පැවසූ විට එයට සිනාසුන දෙමාපියන්ට අද තම දරුවන් පාසල් යැවීමට යන වියදම ගැන සිතා ඇඩීමට සිදුව ඇති බවත් පෙන්වා දුනි.

මේ අවස්ථාවට සජබ කඩුවෙල සංවිධායිකා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, අතුරුගිරිය මහාමාත්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති සහ ගුරු මංඩලය, පාසලේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *