හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක පස්වන වසරේ සිසුන් පිරිසකට පොලීසිය පහරදුන් බව පැවසෙන සිද්ධියට අදාළව උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පවසයි.

පොලීසිය පැවසුවේ සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් ක්‍රියාත්මක බවය. එයට අමතරව මෙම සිද්ධියේදී පොලිස් නිලධාරීන් අතින් වරදක් සිදුවී ඇද්දැයි සෙවීම සඳහා පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන අංශයේ (S.I.U) නිලධාරීහු කණ්ඩායමක් ද යොදවනු ලැබ සිටිති.

ගුරුවරියකගේ අත්බෑගයේ තිබූ පසුම්බියක් අස්ථානගතවීම සම්බන්ධයෙන්, හොරණ මිල්ලනිය ප්‍රදේශයේ කනිෂ්ඨ පාසලක පස්වන ශ්‍රේණියේ සිසුන් පිරිසකට විද්‍යාලයේ ගුරුවරියක් සහ විදුහල්පතිනිය පසුගිය දෙවැනිදා පහරදීමක් සිදුකර තිබුණි.

පහරකෑමට ලක්වූ සිසුන් පවසන් පරිදි, ඔවුන්ට පාසලේ විද්‍යා ගුරුතුමිය සහ විදුහල්පතිනිය අමානුෂික අන්දමින් පහර දී ඇත. ඉන් අනතුරුව විදුහල්පතිනියගේ දැනුම්දීම පරිදි පැමිණි මිල්ලනිය පොලීසියේ නිළධාරීන්ද දරුවන්ට පහර දී ඇත.
පහරකෑමෙන් තුවාල ලැබූ දරුවන් හොරණ මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර එක් දරුවකුට එහි නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ද සිදුව තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මිල්ලනිය පොලිස් ස්ථානාධිපති සදහන් කරන්නේ එවැනි කිසිදු පහරදීමක් සිදුව නැති බවයි. එම සිදුවීමට අදාල උප පොලිස් පරීක්ෂකවරයා නුදුරේදීම විශ්‍රාම යාමට නියමිත අයෙකු බවත් ඔහුගේ සේවාකාලය තුල එවැනි හැසිරීමක් වාර්තා වී නැති බවත් ය.

දරුවන්ට එරෙහිව වන ප්‍රචන්ඩත්වයන් දිනෙන් දිනම රටතුල උත්සන්න වන ආකාරයක් මේ වනවිට දක්නට ඇති බව ළමා සුභසාධනය වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරීන් සදහන් කරන අතර පසුගියදා කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක 11 වන ශ්‍රේණියේ සිසුවෙකුට එම විද්‍යාලයේ ගුරුවරු දෙදෙනෙක් අමානුෂික ලෙස පහරදුන් බවට වාර්තා ලැබී ඇතැයි ද සදහන් කලේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *