නව මහ බැංකු අධිපති ලෙස පත්වීම ලද අජිත් නිවාඩ් කබ්‍ රාල් මහතා අද පස්වරුවේ මහ බැංකු මූලස්ථානයේදී සෙත් පිරිත් සජ්ජායනා මාධ්‍යයේ සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

රාජකාරී ආරම්භ කල නව අධිපති වරයා පැමිණ සිටි පිරිස අමතමින්, “මට අතිගරු ජනාධිපතිතුමා කිව්වා මේ රාජකාරිය භාරගන්න කියලා නමුත් මම එතුමට ප්‍රකාශ කලා මෙම ධූරය නැවත බාරගැනීමට බැහැ කියලා. නමුත් එතුමා කීප සැරයක්ම කරපු ඉල්ලීම අනුව මේ වගකීම භාර ගැනීමට තීරණය කළා”.
“මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් මාව විශ්වාස කරලා මේ අවස්ථාව සඳහා මා තෝරා ගැනීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා”.
“මම හොඳාකාරවම දන්නවා මේ තනතුරේ තිබෙන බැරෑරුම්කම සහ මෙහි තියෙන වගකීම් සහගත බව විශේෂයෙන් වර්තමානයේ පවතින තත්ත්වය මත අප ඉදිරියේ බරපතළ අභියෝග රැසක් තිබෙන බවත් මම දන්නවා. නමුත් අපි සියලුම දෙනා එකමුතුව මේ සඳහා මුහුණ දුන්නොත් අපට මේ අභියෝග සාර්ථකව ජය ගැනීමේ හැකියාව තියෙනවා කියන විශ්වාසය මා තුල තිබෙනවා”. යනුවෙන් ප්‍රකාශ කරන ලදී.

තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා, “විශේෂයෙන් වර්තමානය වැනි ව්‍යසනකාරී අවස්ථාවන්හිදී සියළුම ආර්ථික කොටස් කරුවන් සඳහා ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික මූලධර්ම වල සංචලනය සම්බන්ධයෙන් පැහැදිලි බව හා මූල්‍ය අංශයේ ස්ථාවරභාවය සහතික කිරීම මහ බැංකුවේ ප්‍රධාන කාර්යක් වනවා. ආර්ථිකයේ ස්ථාවරත්වය පිලිබදව අනවශ්‍ය බිය දුරු වන අතර ඒ සදහා මහ බැංකුවට පැහැදිලි හා ස්ථිරසාර මඟ පෙන්වීමක් ලබා දිය යුතුය. මගේ අධීක්ෂණය යටතේ මහ බැංකුවේ අපේක්ෂිත ඉලක්ක කරා යාම සඳහා මූල්‍ය අංශයේ ස්ථාවරභාවය සහතික කිරීම අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනු ඇත”. යනුවෙන්ද ප්‍රකාශ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *