එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (06) පස්වරුවේ පැවැත්විණි. ‘එක්ව රට ගොඩනගමු’ යන තේමාව මූලිකකොට මෙවර පක්ෂ සංවත්සරයේ සැමරුණි.
වසර 28 කට පසුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් යටතේ පක්ෂ සංවත්සරය පැවැත්වීමද විශේෂත්වයකි.
මෙම සංවත්සර සැමරුම සදහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ සෙසු පක්ෂ නායකයෝ රැසක් සංවත්සර උළෙලට සහභාගී වූහ.
ඊ. පී. ඩී. පී. නායක ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, මුස්ලිම් කොංග්‍රසයේ නායක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, ජාතික මුස්ලිම් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි, සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර්, ජාතික කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා ඇතුළු දේශපාලන නායකයෝ පිරිසක් සෙසු පක්ෂ නියෝජනය කරමින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ.
සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්ව රජයේ අමාත්‍යධූර ලබාගත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුද සංවත්සර උත්සවයට පැමිණ සිටියහ.

පක්ෂ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියත් සමඟ සංවත්සර උත්සවය ආරම්භ කෙරුණු අතර, පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ සිට ආදී නායකයන්ගේ පිළිරුවලට පුෂ්පෝපහාර දක්වමින් ගෞරවය පළ කිරීම ද සිදු විය.
එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුවට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද, ඩඩ්ලි සේනානායක මහතාගේ පිළිරුවට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාද, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ පිළිරුවට පක්ෂ උපනායක නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ද, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පිළිරුවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ද , ආර්. ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ද, ඩී.බී. විජේතුංග මහතාගේ පිළිරුවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ද පුෂ්පෝපහාර දැක්වූහ.

පක්ෂයේ අභිමානය විදහා දැක්වෙන විඩියෝ දර්ශන පෙළක් ද ප්‍රදර්ශනය කෙරුණු අතර දේශීය සංස්කෘතිය ඔප්නැංවෙන වාද්‍ය භාණ්ඩ සංදර්ශනයකින් සහ ගීතමය විශේෂාංගවලින් ද සංවත්සර උළෙල අලංකාරවත් විය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික සංවිධායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, උප නායක අකිල විරාජ් කාරියවසම්, හිටපු අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, රවී කරුණානායක, නවීන් දිසානායක, එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිණී ශාන්තිනී කෝන්ගහගේ, සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානානායක යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *