මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට දෙන්න තීරණය කළේ ඇයි ද යන්න පිළිබඳව පෙරේදා (10) ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කෝප් කමිටුවේදී සිදුවිය. ඒ, ලංකා විදුලිබල මණ්ඩලය එදින කොප් කමිටුව හෙවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවු අවස්ථාවේ දී කෝප් කමිටුව ඉදිරිපිට විදුලි බල මණ්ඩල සභාපතිවරයා වන එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා කල ප්‍රකාශයක් මගිනි.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට ලබා දීමට තීරණය කිරීම සම්බන්ධයෙන් කොප් කමිටුව නැගූ ප්‍රශ්නයට පිලිතුරු දෙමින්, විදුලි බල මණ්ඩල සභාපතිවරයා වන එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා සදහන් කලේ,
“මෙහෙමයි වුණේ ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සේ ගෙන්නලා මම හිතන්නේ ගිය නොවැම්බර් 24 වැනිදා වගෙ කිව්වා මේ අදානි සමාගමට දෙන්න මේක ඉන්දිය අගමැති මෝදි කියනවා මට බල කරනවා මේක දෙන්න කියලා කියනවයි කියලා. පස්සේ මම ඒ වේලාවේ කිව්වා මේකේ මේ මටවත් විදුලිබල මණ්ඩලයටවත් අයිති ප්‍රශ්නයක් නෙමෙයි. මේක ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා. නෑ නෑ ඔයා මේක. මම ඒ හින්දා ලියුමක් ලියලා දැන්මා මට මෙන්න මෙහෙම ජනාධිපතිතුමා නියෝගයක් දෙනවාය කියලා මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කර ගන්න. මේක විදුලිබල මණ්ඩලයට අදාල ප්‍රශ්නයක් නෙමෙයි කියලා” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින්,
මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේදී ලංකා විදුලිබල මණ්ඩ‍ලයේ සභාපතිවරයා කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ජනාධිපතිතුමා වගකීමෙන් කියා සිටි.
ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය සෑම ව්‍යාපෘතියක් ම ඉතාමත් පාරදෘශ්‍ය සහ වගවීමෙන් යුතුව නිසි ක්‍රියාදාමයන් අනුව පැවරීමය. ශ්‍රී ලංකාවට විදුලිබලය අත්‍යාවශ්‍ය වී ඇති මේ අවස්ථාවේ දී පුනර්ජනනීය බලශක්ති ක්‍රම පිළිබඳ සුවිශාල ව්‍යාපෘතීන් සඳහා ලැබෙන ඉල්ලීම් සීමිත බැවින් ඒවා ගැන සුවිශේෂ අවධානයක් දැක්වුව ද ව්‍යාපෘතීන් සඳහා ආයතන තෝරාගැනීමේ දී රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව පාරදෘශ්‍ය පරිපාටියක් යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ. යනුවෙන් සදහන් කර තිබුනි.

කෙසේ වෙතත් අදාළ ප්‍රකාශයෙන් පැය 24 ක් ගතවන්නට පෙර ඊයේ (11) ලංකා විදුලිබල මණ්ඩල සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු පැවසුවේ, තමන් කෝප් කමිටුව හමුවේ 10 වෙනිදා කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවයි.
ඒ අවස්ථාවේ පැවති අධික පීඩනයත්, විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළව කාර්ය බහුලවීම නිසා නිසි ලෙස ආහාර පවා නොගෙන වෙහෙස වීමත් හේතුවෙන් ඇතිව තිබූ මානසික තත්ත්වයත් මත මෙම ප්‍රකාශය තමන් අතින් සිදුවී ඇති බවයි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පවසා ඇත්තේ.
එමෙන්ම, පෙර දින තමන් කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ ජනාධිපතිතුමාගෙන් හෝ විෂය භාර අමාත්‍යවරයාගෙන් හෝ ඉන්දියානු තානාපති කාර්යාලයෙන් සිදුවූ බලපෑමක් නිසා නොවන බවයි සභාපතිවරයා පවසන්නේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *