කොරෝනාවෛරසය ලංකාවේ පැතිරීම ආරම්භ වූ දා පටන්ම, රෝගය හා බැඳුනු අසත්‍ය තොරතුරු රාශියක් සමාජ මාධ්‍ය ජාලාවන්හි පැතිර ගියේ ය.

දැනටත්, කොරෝනාවෛරසය මර්දනය කරන බව හෝ කොවිඩ් සුවකරන බවට සහතික කෙරෙමින් ප්‍රවර්ධන කෙරෙන විවිධාකාරයේ කරල්, පැණි, සහ බෙහෙත් වට්ටෝරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතියි. ඇතැම් වෙදමහත්වරුන්, ආයුර්වේද වෛද්‍යවරුන්, සහ ඇලෝපතික වෛද්‍යවරුන් පවා කොවිඩ්වලට එරෙහිව ඖෂධ සොයාගත්තේයැ යි තවමත් විටින් විට ප්‍රචාරය වේ.

මේවායේ සත්‍යාසත්‍යතාව අපැහැදිලි නමුත් වසංගතයෙන් බියට පත්ව සිටින ජනතාව “පිදුරු ගහෙත් එල්ලීමට” සූදානමින් සිටින නිසාවෙන්, මෙම ප්‍රචාරයන් ඉතා භයානක සහ අනාරක්‍ෂිත වීමට පුළුවන.

මෙයට හොඳම උදාහරණය නම් කෑගල්ලේ ධම්මික නම් පුද්ගලයෙකු ‘කාලි මෑණියන්’ විසින් කොරෝනා වෛරසය සුව කළ හැකි බෙහෙත් වට්ටෝරුවක් පවසන ලදැ යි කියමින් ප්‍රචලිත කළ දේශීය ‘ඖෂධ පැණිය’ යි. එය රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව බොහෝ දෙනා පොරකමින් භාවිතා කළහ. පසුව හෙළිවූයේ එම පැණිය කෝවිඩ් සඳහා පමණක් නොව ආහාරමය අතිරේකයක් ලෙස හෝ භාවිතා නොකළ යුතු බවකි.

අයිවර්මෙක්ටින් නම් සතුන්ට ලබාදෙන පණු බෙහෙත මේ ලැයිස්තුවට අලුතින්ම එක්වී ඇති ඖෂධය යි. මෙය ‘කොවිඩ් මැඬලන ඔසුවකැ’ යි කියන මහාචාර්ය අශෝක දංගොල්ල එය ජනතාව වෙත නිර්දේශ කළේයැ යි පැවසෙන ලිපියක් මේ දිනවල ෆේස්බුක් ඔස්සේ පැතිරේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල විසින්, කොවිඩ් සුවකිරීම සඳහා මෙම ඖෂධය භාවිතා කළ හැකියැ යි ද, දිනකට එයින් යම් මාත්‍රාවක් ලබාගත් විට රෝගය සුව වනවායැ යි ද පැවසුණු බව අදාල ලිපියෙහි සඳහන් වේ.

මේ පිළිබඳ අප අදාල මහාචාර්යවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තමා විශ්වවිද්‍යාලයයේ පශුවෛද්‍යවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු මිස, මිනිසුන්ට ඖෂධ ලබාදෙන අයෙකු නොවන බව යි. තමාට ඒ සඳහා අවසරයක් ද නොමැතිබව මහාචාර්යවරයා පැවසුවේ ය. කෙසේ නමුත්, මෙම ඖෂධයට වෛරස විනාශ කිරීමේ සහ ප්‍රදාහය අවම කිරීමේ හැකියාවක් ඇතැ යි ද මහාචාර්ය දංගොල්ල ප්‍රකාශ කරයි.

“අයිවර්මෙක්ටින්වලට SARS-CoV-2 මරන්න පුළුවන් ය කියන එක ගැන ටෙස්ටින් ගොඩක් කරලා තියෙනවා,” ඔහු පැවසීය. මෙම ඖෂධය කොවිඩ් සඳහා ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකිදැ යි සලකා බැලිය යුතුය යන්න ඔහුගේ මතය යි.

අයිවර්මෙක්ටින් ඖෂධය කෝවිඩ් මැඬලීමේ දී ප්‍රයෝජනයට ගත හැකි ද නැද්ද යන්න පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ඖෂධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්තිගෙන් අපි විමසීම් කළෙමු.

එහිදී මහාචාර්යවරිය අප හා පැවසුවේ මෙවැන්නකි: “අයිවර්මෙක්ටින් කියන්නේ පරපෝෂිත රෝගවලට භාවිතා කරන ඖෂධයක්. එතකොට යම්කිසි පර්යේෂණ තිබුණා අයිවර්මෙක්ටින් කොවිඩ්-19 වෛරසය සඳහාත් භාවිතා කරන්න පුළුවන් කියලා. මේ වන විට පර්යේෂණ ගණනාවක් කරලත් තියෙනවා, කෙරෙමිනුත් පවතිනවා. කරලා තියෙන පර්යේෂණ අනුව තවම හරියටම අයිවර්මෙක්ටින් කොවිඩ්-19 වෛරසය සඳහා පාවිච්චි කරන්න පුළුවන් ද බැරි ද කියලා නිශ්චිත නිගමනයකට එන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ.”

අයිවර්මෙක්ටින් පිළිබඳ පර්යේෂණයක් මෙරට තුළත් සිදුවන බව කියන ඇය, ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදීමට නම් පර්යේෂණ ප්‍රතිඵල නිකුත්වන තුරු බලා සිටිය යුතුබව පවසයි.
ඇතැම් රටවල වෛද්‍යවරුන් කොවිඩ්-19 සඳහා මෙම ඖෂධය ලබාදෙන නමුත්, එය කොවිඩ් සඳහා ප්‍රතිකාරයක් ලෙස කිසිදු රටක තවමත් අනුමත වී නැතැ යි ද, එනිසා එම ඖෂධය නිර්දේශ කිරීමට නොහැකියැ යි ද මහාචාර්යවරිය කියා සිටියා ය.
“ලංකාවේ කොවිඩ්-19 සඳහා ගත යුතු ඖෂධ පිළිබඳව තීරණය කරන්න කමිටුවක් තියෙනවා. ඒකෙදිත් දැනට තියෙන දත්ත විශ්ලේෂණය කරලා බලලා තීරණය කළේ, අයිවර්මෙක්ටින් ලබාදෙන්න දැනට අපට තීරණයක් ගන්න බෑ කියලා.”
ඕනෑම ඖෂධයකින් අතුරු ආබාධ ඇතිවිය හැකි නිසා, එම ඖෂධය හිතුමතේ මිලට ගෙන භාවිතා කිරීම අනතුරුදායක විය හැකිබව ද වෛද්‍යවරිය අප හා සඳහන් කළා ය.

වෛද්‍ය අනුමැතිය නැතිව කොවිඩ් සඳහා ප්‍රතිකාර ගන්න එපා!

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, “වෛද්‍ය අනුමැතියකින් තොරව කොරෝනා ආසාදනය සඳහා ප්‍රතිකාර ලබාගැනීම ඔබට හානිකර විය හැකිය” මැයෙන් පසුගිය දා සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් පළකර තිබුණි.

කොවිඩ් නිසාවෙන් මතුවන තද උණ, කොන්දේ කැක්කුම, හිසේ කැක්කුම යන රෝග ලක්ෂණ සඳහා පැරසිටමෝල් පමණක් ලබාගන්නැ යි එම කාර්යාංශය ජනතාව දැනුවත් කරමින් පැවසීය. කොවිඩ් රෝගීන් සඳහා රෝහල්වල දී ලබාදෙන ඩෙක්සාමෙතසෝන් ඖෂධය රෝහලෙන් පිට දී ලබාගැනීම කිසිසේත්ම අනුමත නොකෙරෙන බව ද, මෙම ඖෂධය රෝගයේ මුල් අවස්ථාවේ දී ලබාගතහොත් රෝගයේ සංකූලතා ඇතිවීමේ හැකියාව ඉතා වැඩි වන බව ද ඔවුන් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති සඳහන් කළේ, කොවිඩ් සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම ද සිදු නොකළ යුත්තක් බව යි.

“කොවිඩ්-19 කියන්නේ වෛරස් රෝගයක්නේ. ඇන්ටිබයොටික්ස් තියෙන්නේ බැක්ටීරියාවන් සඳහා. ඉතින් සමහර ඇන්ටිබයොටික්ස් වෛරස්වලටත් දෙන්න පුළුවන්, ඉෆෙක්ටිව්, කියලා පර්යේෂණ කරලා තියෙනවා. නමුත් ඒ පර්යේෂණවලින් නිශ්චිත නිගමනයකට එන්න බැරි වෙලා තියෙන්නේ… කොවිඩ්-19 වෛරස් රෝගය සාමාන්‍යයෙන් වැඩිම දෙනෙකුට නිකම්ම හොඳ වෙනවා. එතකොට අපි අනවශ්‍ය ලෙස ඇන්ටිබයොටික්ස් මුල දී පාවිච්චි කළොත් එහෙම ඒ සඳහා ප්‍රතිරෝධය ඩිවලොප් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හානියක් වෙනවා.”

“මොකද ඊට පස්සේ අපට ලෙඩේ හැදුනොත් – දැන් කොවිඩ් නියුමෝනියා තත්ත්වය ආවට පස්සේ දෙවනුව බැක්ටීරියා ආසාදන එනවා. බැක්ටීරියා ආසාදනය වෙන්න පුළුවන් පෙනහළුවලට. එතකොට අන්න ඒ අවස්ථාවේ දී අපි පාවිච්චි කරනවා ඔය ඇන්ටිබයෝටික්ස් – ඉතින් එහෙම එතකොට පාවිච්චි කරන්න තියෙන හැකියාවත් නැතිවෙන්න පුළුවන් මේ ඖෂධවලට ප්‍රතිරෝධය දැක්වුවොත්, මුල දී අනවශ්‍ය ලෙස භාවිතා කරපු නිසා,” යනුවෙන් ඇය පැවසීය.
ශ්‍රී ලංකාවෙන් ද අලුතෙන් මතුවන එන්නත් විරෝධී රැල්ල ගැන ඇගෙන් විමසූ විට, දැනට කොවිඩ්-19 රෝගයෙන් බේරීමට තිබෙන එකම විසඳුම එන්නත ලබාගැනීම බව ඇය පැවසුවා ය.

“දැනට කොවිඩ්-19 වෛරසයට ප්‍රතිවෛරසයක් හැටියට කිසිම ඖෂධයක් නැහැ අපට. එතකොට වැක්සීන් එක ගත්තහම, හොඳට කරපු සයන්ටිෆික් ස්ටඩීස්වලින් ඔප්පු කරලා තියෙනවා මේ වෛරසය ආසාදනය වෙන එකත්, ඒ වගේම වෛරසය ආසාදනය වෙලා සංකූලතා ඇතිවෙන එකත්, ඒ වගේම සංකූලතා ඇතිවෙලා මරණයට පත්වීමත් යන ඔය තුනම අඩුකරනවා කියලා එන්නත මඟින්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *