අද (17) දින පැවැත්වූ කොළඹ විශ්වවිද්‍යාළයේ උපාධි ප්‍රධානෝත්සවයේදී සිසුන් තම අත්වල කළුපටි පැලද මුරුත්තෙට්ටුවේ හිමිට තම විරෝධය පල කරන ලදී.

ඇතිවූ තත්වය මත උපාධි ප්‍රධානය කොළඹ විශ්වවිද්‍යාළයේ උපකුලපතිනිය මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය විසින් සිදුකල අතර මුරුත්තෙට්ටුවේ හිමි පදක්කම් කිහිපයක් පමණක් ලබාදෙන ලදී.

මෙයට පෙර තම සිසුන්ගේ උපාධිය උපකුලපතිනිය වෙතින් හෝ ආචාර්ය, මහාචාර්යවරු අතින් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස සිසු සංගම් විසින් උපකුලපතිතුමියගෙන් ඉල්ලා සිටින ලදී.

කොළඹ විශ්වවිද්‍යාළයේ උපාධි ප්‍රධානෝත්සවයේ ගෞරවය ආරක්ෂා කර ගැනිම සම්බන්ධව විශ්වවිද්‍යාළයෙ උපකුලපතිතුමිය වෙත යොමු කරන ලද ලිපිය..


විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රධානෝත්සවය යන්න ශිෂ්‍යයන්ට මෙන් ම විශ්වවිද්‍යාලටද සුවිශේෂී අවස්ථාවකි. වසර ගණනාවක අධ්‍යාපන ජීවිතයේ තීරණාත්මක කඩයිමක් සනිටුහන් කිරීමක් ලෙස විශ්වවිද්‍යාල උපාධිය ලබා ගැනීම සැළකිය හැකිය. එපමණක් නොව සමාජ විද්‍යාත්මකව සැළකීමේදී ද උපාධි ප්‍රධානෝත්සවයට හිමි වන්නේ සුවිශේෂී වැදගත්කමක් බව කිව යුතුමය. තවද දහතුන් වසරක් වූ පාසල් අධ්‍යාපනයත්, සිව් වසරක විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ( විවිධ පාඨමාලා අනුව කාල සීමාව වෙනස් වේ) ශිෂ්‍යයන් ලබා ගන්නේ විවිධාකාරයේ අපසුතා හා දුෂ්කරතාවයන්ගෙන් එන බාධකයන් හමුවේ ය. එවැනි තත්ත්වයක් යටතේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන්ට තමාගේ උපාධිය සමාජය පිළිගන්නා ගෞරවනීය ක්‍රමවේදයකට අනුකූලව ලබාගැනීමට සුජාත අයිතියක් ඇත.

නමුත් කොළඹ විශ්වවිද්‍යාලයට අභිනවයෙන් පත් කරන ලද කුලපති පදවිය හරහා එම ගෞරවය ආරක්ෂා වේද යන්න වර්තමානය වන විට සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටම ගැටලුවක් වී ඇති බවද පසක් කළ යුතු වේ. එමෙන්ම මේ මොහොත වන විට උපාධි ප්‍රදානෝත්සවය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ද අප්‍රසාදය පළ වී ඇත්තේ මෙම පසුබිම තුළය. මන්ද නව කුලපති තනතුර දේශපාලන අතකොලුවක් ලෙස පසුගිය කාලය පුරාම සමාජය ඉදිරියේ හෑල්ලුවට ලක් වී ඇති නිසා එවැනි පුද්ගලයෙකු අතින් තම උපාධිය ලබාගැනීමට කිසිදු විද්‍යාර්ථයෙකු කිසිසේත්ම බලාපොරොත්තු නොවන බැවිනි.

ඒ අනුව අවසාන වශයෙන් උපාධි ප්‍රදානෝත්සවයේදී උපාධිය ලැබීම, විශ්වවිද්‍යාල ශිෂ්‍යයාත් උපාධි‍යේත් ගෞරවය ආරක්ෂා වෙන ලෙස ලබාදීමට කටයුතු කරන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු. එබැවින් පැවැත්වීමට නියමිත උපාධි ප්‍රදානෝත්සවයේදි ඔබතුමිය අතින් හෝ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු අතින් ගෞරවණීය ආකාරයට උපාධිය ලබා ගැනීමේ අවස්ථාව සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඉඩ ලබාදෙන ලෙස මෙයින් වැඩිදුරටත් ඉල්ලා සිටිමු.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *