කොවිඩ් 19 වයිරසය මර්දනයට එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් සිදු කර නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

කොවිඩ් මර්ධන එන්නත් ලබාගැනීම අනිවාර්යය කිරීමට ගෙන ඇති තීරණය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීරණය කරන්නැයි ඉල්ලමින් වෛද්‍යවරියක ඇතුළු තිදෙනෙකු ගොනු කල පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥ විවේකා සිරිවර්ධන මහත්මිය මේ බව සඳහන් කළාය.

එස්.තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.

එසේම, එන්නත් කරණ වැඩ පිළිවෙල පිළිබඳව ප්‍රකාශ කිරීමේ බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පමණක් බවද රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥවරිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියාය.

වෛද්‍ය ධරණී රාජසිංහම්, රංජිත් සේනානි සෙනෙවිරත්න, නිර්මලාල් හරින් ප්‍රනාන්දු විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමතිවරයා, රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ඇතුළු පිරිසක් දක්වා තිබිනි.

එහිදී පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කේ.කනග්ඊශ්වරන් මහතා සදහන් කලේ කොවිඩ් මර්ධන එන්නත අනිවාර්යයෙන්ම ලබා ගත යුතු බවට තීරණය කර ඇති බවය.

කොවිඩ් එන්නත අනිවාර්යය කරන නීතියක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතීඥ වරයා සදහන් කලේ එම එන්නත අනිවාර්යයෙන්ම ලබා ගැනීමට බලපෑම් කිරීම නීතිවිරෝධී බවය.

එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 14(1)g සහ 14(1)h යන විධිවිධාන මගින් සහතික කරඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ද ඒ මහතා සඳහන් කළේය.

පෙත්සම පිලිබද වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජනවාරි මස 11 වැනිදාට කල් තැබිණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *