2016 වසරේ මාර්තු මස 31 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති චෝදනා 22 ක් අතුරින් චෝදනා 11කින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

මෙම නඩුවට අදාළ මූලික විරෝධතාවක් මතු කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම චෝදනා විත්තිකරුවන්ට එරෙහිව පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ අනුව මෙම චෝදනා වලින් විත්තිකරුවන් නිදහස් කරන ලෙසත් මීට පෙර අධිකරණය හමුවේ ඉල්ලීම් කර තිබිණ.

එම මූලික විරෝධතා සම්බන්ධයෙන් තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනා වලින් චෝදනා 11 ක් පවත්වාගෙන යාමට නොහැකි බවයි.

ඒ අනුව එම චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා සඳහන් කළේ පැමිණිල්ල විසින් ගොනුකර තිබූ චෝදනාව 22 ක් අතුරින් චෝදනා 11කින් විත්තිකරුවන් නිදහස් කිරීමට අධිකරණය තීරණය කර ඇති බව පෙන්වා දුන්නේය.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පත්‍රය සංශෝධනය කරනවා ද? ඉවත් කරගන්නවා ද? එසේත් නැතිනම් විකල්ප නීතිමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කරනවාද යන්න තීරණය කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනූව නඩුව ජනවාරි මස 26 වැනිදා කැඳවීමට අධිකරණය නියම කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *