වසර 15කට ආසන්න කාලයක් අක්‍රියව පැවති මොරටුව, කඩුබැද්ද දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය, ජාතික ශිල්ප සභාව යටතේ යළි ස්ථාපිත කිරීමෙන් පසු එහි පුහුණුව නිම කළ ප්‍රථම සිසු කණ්ඩායම වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම ඊයේ (16) පෙරවරුවේ තලවතුගොඩ ජැට් හෝල්ඩිංග්ස් සමාගමේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

වසර 65 ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන කටුබැද්ද දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය, දිවයින පුරා විසිරී පැවති දැව පුහුණු පාසල් 250කට ආසන්න සංඛ්‍යාවක සිසුන් සඳහා උසස් පුහුණුව ලබා දුන් ප්‍රධාන මධ්‍යස්ථානයයි. කෙසේ වෙතත්, 2010 වසරේදී මෙම ආයතනය අත්තනෝමතික ලෙස වසා දමා අමුද්‍රව්‍ය ගබඩාවක් බවට පත් කිරීම හේතුවෙන් මෙරට දැව කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබුණි.

වත්මන් රජයේ නව වැඩපිළිවෙළ යටතේ මෙය යළිත් දිවයිනේ විශාලතම යාන්ත්‍රික දැව තාක්ෂණ පුහුණු ආයතනය ලෙස ප්‍රතිසංස්කරණය කර ඇති අතර, මෙහිදී NVQ 4 මට්ටමේ දැව තාක්ෂණ ශිල්පී (ගෘහ භාණ්ඩ) පුහුණුව නිම කළ සිසුන් 21 දෙනෙකු අද දින වෘත්තීය සුදුසුකම් සහිතව නිපුණ ශිල්පීන් ලෙස සමාජගත විය.

මෙම ශිල්පීන් සඳහා පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ ගෘහ භාණ්ඩ සමාගම් රැසක් රැකියා අවස්ථා ලබා දීමට ඉදිරිපත් වී ඇති අතර, එහිදී “ජැට් හෝල්ඩින්ග්” (JAT Holdings) ආයතනය විසින් සිසුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද විශේෂත්වයකි. මීට අමතරව, දැනට පුහුණුව ලබමින් සිටින 30කට අධික ශිෂ්‍ය පිරිසටද පුහුණුව අවසානයේ ස්ථිර රැකියා ලබා දෙන බවට සහතික කර ඇත.

දේශීය මෙන්ම විදේශීය වශයෙන් ඉහළ ඉල්ලුමක් පවතින දැව ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය නිපුණ ශිල්පීන් බිහි කිරීමේ ජාතික මෙහෙවර මෙලෙස යළිත් සාර්ථකව ආරම්භ වී තිබේ.

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ජාතික ශිල්ප සභාවේ සභාපති ආචාර්ය අයේෂා වික්‍රමසිංහ, ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂ නිශාන්ත විජයලත් , ජැට් හෝල්ඩින්ග්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරි චමින්ද ගුලවිට සහ ජාතික ශිල්ප සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුහුණු) ආනන්ද ජයසිංහ යන මහත්ම මහත්මියන් ඇතුලු ආරාධිතයන් රැසක් සහභාගී විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *