මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ මේ වන විටත් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ. දැනට හෙලිදරව් වී ඇති කරුණු අනුව, මීගමුව බන්ධනාගාරය තුළ ගැටුම හටගෙන ඇත්තේ ඉරිදා (5) පෙරවරු 11 ට පමණය. එහිදී බන්ධනාගාරය තුළ සිටින රැඳවියන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳව බන්ධනාගාර නිලධාරීන්ට තොරතුරු ලබාදෙන පිරිසක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේ.

බන්ධනාගාර ආරංචි මාර්ගවලට අනුව එම ගැටුම සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තායි. එම අවස්ථාවේදී අමානුෂික ලෙස පහරකෑමට ලක් වූ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 35 ක පිරිසක් තුවාල ලබා ඇත. බන්ධනාගාර නිලධාරීන්ට තොරතුරු ලබාදුන් බවට පැවසෙන 29 හැවිරිදි වර්ණකුලසූරිය නිලංක දුල්ෂාන් හා 31 හැවිරිදි ගනේගොඩ ආරච්චිලාගේ ගයාන් සම්පත් නම් රැඳවියන් දෙදෙනායි මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ.

ඒ අතරතුරදී ඔවුන් බන්ධනාගාර රෝහල කඩා මානසික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ සියල්ල රැගෙන ගොස් තිබූ බවයි බන්ධනාගාර ආරංචිමාර්ග සදහන් කරන්නේ. පසුව ආරක්ෂක අංශ මැදිහත්ව තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා කොළඹ සිට ගොස් සියළුම රැඳවියන් රැස්කර ඔවුන් හා සාකච්ඡාකර ගැටළු පවතීනම් විසදාදීමට කටයුතු කරන බවත් සාමකාමීව සිටින ලෙසත් පවසා ඇත. ඉන් පසුව රැඳවියන් සියලුදෙනා ඔවුන්ගේ සිරිමැදිරිවලට ඇතුළත් කර තිබේ.

මෙසේ තත්ත්වය සමථයට පත්වූ පසුව බන්ධනාගාර නිලධාරීන් ඊට පසුදින එනම් 6 දින උදෑසන අධිකරණ කටයුතු සදහා රැගෙන යන්නන් සූදානම් කිරීම සහ රැඳවියන් බැහැදැකීමට පැමිනෙන්නන් ට අවස්ථාව ලබා දීම ආදී කටයුතු කරන අතරතුර රැඳවියන්ට ආහාරපාන ලබාදීමටත් පියවර ගෙන තිබේ. එම අවස්ථාවේ කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තාගේ පාර්ශ්වයේ අයෙක් බන්ධනාගාර නිලධාරීන්ට ඔත්තු ලබාදුන් පාර්ශ්වයේ අයෙකුට කම්මුලට පහරදී ඇති අතර අනතුරුව තවත් රැඳවියන් සියයක පමණ පිරිසක් අදාළ රැඳවියාට අමානුෂික ලෙස වටකර පහරදී තිබේ.

එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු එතැනට ගොස් අදාළ රැඳවියා රැගෙන බන්ධනාගාරයේ විහාරස්ථානය පිහිටි ස්ථානයට දිවගොස් ඇතිබව වාර්තා වෙයි. එවිට ප්‍රහාරය දියත් කළ රැඳවියන් බන්ධනාගාර නිලධාරීන් දෙසට ගල්මුල්වලින් පහරදී තිබේ. ඒ අතරතුරදී පහරකෑමට ලක්වූ රැඳවියාගේ හිතවත් පිරිස හා ප්‍රහාරය ආරම්භ කළ පිරිස දරුණු ලෙස ගුටිබැට හුවමාරු කරගත් බවට තොරතුරු වාර්තා වේ.

එම අවස්ථාවේ පල්ලන්සේන බන්ධනාගාරයට නව පත්වීමක් ලැබ පැමිණි ප්‍රධාන ජේලර්වරයාද තත්ත්වය පාලනයට එහි පැමිණ සිට ඇති අතර ඔහුටද රැඳවියන් පහරදීමක් කර ඇත. එහිදී පළමුව පහරකෑමට ලක්වූ රැඳවියා රැගෙන ගිය නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට පැමිණ අදාළ නිලධාරීයාව බේරාගෙන ඔහුව පිටවීමේ දොරටුවෙන් පිටතට යවා ඇත.

මේ මොහොත වනවිට බන්ධනාගාරය තුල දරුණු ගැටුම්කාරී තත්වයක් තිබී ඇති අතර කොළඹ සිට පැමිණි බන්ධනාගාර ක්ෂණික ප්‍රහාරක උපක්‍රමික බලකායේ නිලධාරීන් තත්ත්වය පාලනය කිරීම සඳහා ඇතුළු වී තිබු නමුත් කලහකාරී ලෙස හැසිරුනු රැඳවියන් පිරිසක් අදාළ නිලධාරීන් මැදිකරගෙන දරුණු ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වෙයි. මෙහිදී ඇතැම් නිලධාරීන්ගේ හිසට විශාල ගල් අතහැර දමා ඇති බවද බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ගැටුම් අතරතුර පිරිස බන්ධනාගාරයෙහි වූ ආරක්ෂිත කුටියකට නැග එහි වූ ගිනි අවියක් හා ගිනි අවි මාරුකිරීමට ඇති කාමරයෙහි තිබී තවත් ගිනිඅවියක් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි. රීපීටර් වර්ගයේ ගිනිඅවියක් හා ටී – 56 වර්ගයේ ගිනිඅවියක් එලෙස ඔවුන් ලබාගෙන ඇති බව සඳහන්ය. අනතුරුව රැඳවියන් අදාළ ගිනිඅවිවලින් ඇතැම් නිලධාරීන්ට වෙඩිතබා ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.

එමෙන්ම බන්ධනාගාරයේ ප්‍රධාන පිවිසුම අසල ස්ථාපිත මිලියන ගණනක් වටිනා ශරීර පරීක්ෂක යන්ත්‍රය සහ සී සී ටී වී කැමරා පද්ධතිය ඇතුළු බන්ධනාගාරයෙහි වූ සියලු දේ රැඳවියන් විනාශ කර ඇති අතර අධිකාරීවරයාගේ නිල කාමරයෙහි වූ වැසිකිළිය පවා ඔවුන් විනාශකර ඇති බව වාර්තාවෙයි. ඔවුන් බන්ධනාගාරයට සිදුකළ හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.

මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇතිවු ගැටුමෙන් මේ වනවිට මියගිය ගණන 27 ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඒ අතරට බන්ධනාගාර නිළධාරීන් 07 දෙනෙකු සහ රැඳවියන් 20 ක් ඇතුලත් වේ. තුවාල ලද බන්ධනාගාර නිළධාරීන් සහ රැඳවියන් මීගමුව, රාගම, සහ කොළඹ රෝහල් වල ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබේ.

මේ වන විට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1033 දෙනකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති අතර මෙම ගැටුම මෙහෙය වූ බව කියන කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවූ බව පොලිසිය සඳහන් කරයි.

මේ වනවිට බන්ධනාගාරය අවට සම්පූර්ණයෙන්ම ආරක්ෂාව තහවුරු කර ඇති අතර වෙනත් බන්ධනාගාරවලට මාරුකළ රැඳවියන්ගේ නාම ලේඛනයක් ද බන්ධනාගාරය අසල ප්‍රදර්ශනය කර තිබුණි. එමෙන්ම, මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බන්ධනාගාර රැඳවියන්ගේ නාම ලේඛනයක් ද රෝහල් භූමියේ ප්‍රදර්ශනය කර තිබුණි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන්ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තමන් මෙම විමර්ශනය භාරගත් බවට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ මූලික කරුණු දැක්වීමක් සිදුකර තිබේ.

මෙයට අමතරව මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකර, සිද්ධියට හේතු වූ කරුණු, ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව, එම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පත් කර ඇති අතර, විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා සෙසු සාමාජිකයන් ලෙස පත් කර ඇත.

මේ අතර, මීගමුව බන්ධනාගාරයේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වන අතර බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියෙකු ද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබුණේ, ගාල්ල කරාපිටිය රෝහල‌ වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *