Post Views: 148 රික්ටර් මාපකයේ 7.2 ක සහ 7.5 ක අගයන් ගත් මෙම භූමිකම්පා හේතුවෙන් වෙනිසියුලා අගනුවර වන කරකාස් ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි දේපළ හානි සිදුව ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම සඳහා මේ වන විට දැවැන්ත සහන සේවා මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව එරට බලධාරීන් පවසනවා. වෙනිසියුලානු වේලාවෙන් පස්වරු 6.04 ට පමණ පළමු භූමිකම්පාව සිදුව ඇති අතර එය යරකුයි ප්‍රාන්තයේ සැන් ෆෙලිප් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් හටගෙන තිබෙනවා. ඉන් තත්පර 39 කට පසුව යූමාරේ ප්‍රදේශයට ගිනිකොණ දෙසින් රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් දෙවන භූමිකම්පාව සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය තහවුරු කරනවා. මෙම භූ කම්පන තත්ත්වය හේතුවෙන් කරකාස් අගනුවර පිහිටි ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර තවත් ගොඩනැගිලි රැසක ව්‍යුහයන්ට දැඩි හානි සිදුව තිබෙනවා. භූමිකම්පාව සිදුවූ දිනය වෙනිසියුලාවේ ජාතික නිවාඩු දිනයක් වූ බැවින් ජනතාව විශාල වශයෙන් නිවෙස් තුළ රැඳී සිට ඇති අතර, භූ කම්පනයත් සමඟ කලබලයට පත් වැසියන් බියෙන් තැතිගෙන වීදි වෙත දිවයන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ගෑස් කාන්දු වීම් හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා ප්‍රදේශ කිහිපයක ඉන්ධන සහ ගෑස් සැපයුම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩියොස්ඩාඩෝ කැබෙල්ලෝ මහතා ප්‍රකාශ කරනවා. මේ අතර කරකාස් අගනුවරට අයත් චකාඕ නගරයේ පමණක් සම්පූර්ණයෙන්ම කඩා වැටුණු ගොඩනැගිලි දෙකක සුන්බුන් අතරින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවතුන් අතර මුදා ගැනීමට සහන සේවා කණ්ඩායම් සමත්ව තිබෙනවා. එහි සිරවී සිටින අනෙක් පිරිස් මුදාගැනීම සඳහා පන්සියයකට අධික ආපදා කළමනාකරණ නිලධාරීන් පිරිසක් අඛණ්ඩව මෙහෙයුම්වල නිරත වන බව සඳහන් කරනවා. මෙම භූමිකම්පාව හේතුවෙන් සිදුවූ මරණ හෝ තුවාල ලැබූවන්ගේ නිශ්චිත සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවත්, අධික පිරිසක් මියයාමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙනවා. කරකාස් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින්, හානියට පත් ගොඩනැගිලිවලින් බැහැරව ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස ජනතාවට උපදෙස් ලබාදී ඇත. Post navigation මෘදුකාංග යාවත්කාලීන කිරීම නිසි පරිදි නොකල Apple සමාගම ගෙවන වන්දිය.