පසුගිය දින කිහිපය පුරා දිවයිනට බලපෑ දැඩි අහිතකර කාලගුණ තත්ත්වයේ උච්ඡතම අවස්ථාව සලකුණු කරමින් ශ්‍රී ලංකාව හරහා හමාගිය ‘දිට්වා’ (Ditwa) සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට රට තුළ දැවැන්ත ආපදා තත්ත්වයක් නිර්මාණය වී තිබේ. දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය සුළි කුණාටුවක් බවට වර්ධනය වී රට හරහා ගමන් කිරීමත් සමඟ සමස්ත ලංකාවටම ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.

දැඩි වර්ෂාපතනය හමුවේ දකුණු පළාත හැර දිවයිනේ සෙසු සියලුම පළාත් ආවරණය වන පරිදි මහා පරිමාණ ගංවතුර තත්ත්වයන් වාර්තා වේ. මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ රැසක දරුණු නායයෑම් සිදුකරමින් හමාගිය මෙම සුළි කුණාටුව හේතුවෙන් ප්‍රදේශ ගණනාවක පුද්ගලයන් රැසක් ජලගැලීම් සහ නායයෑම්වලට හසුව ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර, මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වතාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය සම්පූර්ණයෙන්ම ගංවතුරෙන් යටවී තිබේ.
මීට අමතරව කැළණි ගං මිටියාවතේ සාමාන්‍ය මහ ගංවතුර මට්ටම ද ඉක්මවා යමින් දැවැන්ත ජල ගැල්මක් හටගෙන ඇති අතර, මහවැලි ගඟ, දැදුරු ඔය සහ මල්වතු ඔය ඇතුළු ප්‍රධාන ගංගා රැසක් පිටාර ගැලීමෙන් අවට ජනාවාසවලට දැඩි බලපෑම් එල්ල වී ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවලට අනුව, මේ වන විට තහවුරු වී ඇති මරණ සංඛ්‍යාව 380 ක් දක්වා ඉහළ ගොස් ඇත. සුන්බුන් අතර සහ ජලයේ ගසාගෙන ගොස් අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් මෙම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට තොරතුරු වාර්තාවේ. ඇතිවූ ව්‍යසනකාරී තත්වයෙන් පීඩාවට පත් සමස්ත ජනගහනය මිලියන 1.5 කට අධික වන අතර කඳුකරයේ සිදුවූ නායයෑම් ප්‍රමාණය 1000 කට වඩා වැඩි බවත් වාර්තා වී ඇත.

මාර්ග අවහිරතා හේතුවෙන් මෙතෙක් ළඟාවීමට නොහැකිව හුදකලා වී තිබූ ප්‍රදේශ වෙත මේ වන විට සහන කණ්ඩායම් සහ සන්නද්ධ හමුදා ප්‍රවේශ වෙමින් පවතින අතර රට තුළ හදිසි අවස්ථාවක් (State of Emergency) ප්‍රකාශයට පත් කෙරේ.

‘දිට්වා’ සුළි කුණාටුවේ දරුණු බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත පරිපාලන දිස්ත්‍රික්ක 25න් 22කටම දැඩි හානි සිදුව ඇති බව රජය සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර, පවතින බරපතල තත්ත්වය සැළකිල්ලට ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රට තුළ හදිසි අවස්ථාවක් (State of Emergency) ප්‍රකාශයට පත් කර ඇත.

සුළි කුණාටුවේ බලපෑමෙන් රටේ ප්‍රවාහන පද්ධතියට දරුණු බලපෑම් එල්ල වී ඇත. විශේෂයෙන්ම උඩරට දුම්රිය මාර්ගය ඇතුළු ප්‍රධාන දුම්රිය මාර්ග කිහිපයක් සහ මහා මාර්ග රැසක් නායයෑම් හා ගිලාබැසීම් හේතුවෙන් මුළුමනින්ම පාහේ විනාශ වී තිබේ.

රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම මාර්ග සහ යටිතල පහසුකම් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අතිවිශාල මුදලක් සහ දිගු කාලයක් වැයවනු ඇති බවයි. දිවයිනේ ඇතැම් ප්‍රධාන නගර මුළුමනින්ම පාහේ නටබුන් බවට පත්ව ඇති අයුරු ගුවන් ඡායාරූප මගින් ද දැකගත හැකි වේ. මෙම මහා ව්‍යසනයෙන් රට මුදාගැනීම සඳහා සහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක බවත් රජය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *