Post Views: 140 පොලිස් පරීක්ෂණ පස්සට අදින්නේ දේශපාලන හස්තයක්ද ? – නුවරඑළිය සුරැකීමේ සංවිධානයෙන් බරපතළ චෝදනාවක් ! දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත්, පසුගිය සමයේ දැඩි කතාබහකට ලක්වූ නුවරඑළිය ඓතිහාසික රෝස තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටි සියවස් ගණනාවක් පැරණි, මිල කළ නොහැකි අකුණු සන්නායකයට හානි සිදුකර එය අස්ථානගත කර ඇතැයි පවසමින් ඉදිරිපත් වූ පැමිණිලි සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති බවට නුවරඑළිය සුරැකීමේ සංවිධානය බරපතළ චෝදනාවක් එල්ල කරයි. මෙම විමර්ශන යටපත් කිරීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බවට තමන් සැක කරන බව එම සංවිධානයේ නියෝජිතයන් වන ගයාන් චතුරංග විජයබණ්ඩාර සහ නාලක දිනේෂ් රත්නායක යන මහත්වරු මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කර ඇත. මෑතකදී සංවර්ධන කටයුතු ආරම්භ කරන ලද මෙම ඓතිහාසික ගොඩනැගිල්ලේ අකුණු සන්නායකයට සම්බන්ධ තඹ පටිය මැදින් කැඩී ඇති බවත්, ඒ හරහා සන්නායකයට හානි පමුණුවා එය අස්ථානගත කර ඇති බවත් පවසමින් නුවරඑළිය තැපැල් ස්ථානාධිපතිවරිය විසින් පසුගිය 2026 අප්‍රේල් 10 වන දින නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් දමා ඇත. මීට අමතරව, 2007 පෙබරවාරි 23 දිනැති ගැසට් පත්‍රය මඟින් මෙම ස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද මැදිහත් වී 2026 අප්‍රේල් 29 වන දින ලිපියක් මඟින් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස නුවරඑළිය පොලිසියෙන් ඉල්ලා තිබේ. එහෙත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු සාධනීය ප්‍රගතියක් පෙනෙන්නට නැතැයි නුවරඑළිය සුරැකීමේ සංවිධානය පවසයි. "පුරාවිද්‍යා පනතට අනුව මෙවැනි ස්ථානයක අඩියක් හෑරුවත් මාස ගණන් හිරේ යන්න වෙනවා. එහෙව් රටේ, මහ දවල් කෝටි 500ක් 1000ක් විතර වටිනා පුරාවිද්‍යාත්මක සන්නායකයක් කොල්ලකාලත් පොලිසිය නිහඬයි. මේවා හැකර්වරුන්ගේවත්, පැලවත්තේ දේපළවත් නෙවෙයි; නුවරඑළියේ ජනතාවගේ පාරම්පරික උරුමයන්." ගයාන් චතුරංග විජයබණ්ඩාර (නුවරඑළිය සුරැකීමේ සංවිධානය) පසුගිය රනිල් වික්‍රමසිංහ රජය සමයේ මෙම තැපැල් කාර්යාලය විදේශීය සමාගමකට පැවරීමට ගිය අවස්ථාවේදී එය රැකගැනීමට ඉදිරිපත් වූ පිරිස්, පසුව කඩිමුඩියේ මෙහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීම පිටුපසද කිසියම් සැකයක් මතුවන බව සංවිධානයේ සාමාජිකයෝ පෙන්වා දෙති. සාමාන්‍ය මූල්‍ය වංචාවකදී පවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන මුත්, මෙවැනි මහා පරිමාණ ජාතික අපරාධයකදී පොලිසිය මෙතෙක් අධිකරණයට කරුණු වාර්තා නොකිරීම පිටුපස දේශපාලන බලපෑමක් ඇති බව ඔවුහු තරයේ කියා සිටිති. එදා තැපෑල රැකගන්නට පෙනී සිටි සියලු දෙනාටම මෙම මහා පරිමාණ කොල්ලයට එරෙහිවත් හඬ නඟන ලෙස නුවරඑළිය සුරැකීමේ සංවිධානය විවෘත ආරාධනයක් කරයි. මෙම චෝදනා සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සඳහන් කරන්නේ, අදාළ පැමිණිල්ලට අනුව සිදුවිය යුතු සියලු විමර්ශන කටයුතු නීත්‍යානුකූලව සහ නිසි අන්දමින් සිදුකරමින් පවතින බවයි. මේ වන විටත් සිද්ධියට අදාළව පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, විමර්ශන මට්ටමේ පවතින බැවින් එම තොරතුරු මාධ්‍යයට අනාවරණය කළ නොහැකි අතර ඉදිරි නීතිමය කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බවද ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. Post navigation අද දවසේ කාලගුණ අනාවැකිය. පුත්තලම් දුම්රිය මාර්ගයේදී ගසක් කඩාවැටී දුම්රියකට හානී.