පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු නොකරන්නේ නම් කතෝලික සභාව ලෙස නඩු පැවරීමක් කළ හැකිද යන්න සොයාබලමින් සිටින බව ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසනවා.

මෙම ප්‍රහාරයේ වගකිවයුත්තන් සොයාගැනීමට කතෝලික සභාව ගෙන යන අරගලය මුළු මහත් රට වෙනුවෙන් කරන අරගලයක් බවත්, කොපමණ කල් ගත වුවත්, කොපමණ මිලක් ගෙවීමට වුවත්, කුමන පරිත්‍යාග කරන්නට වුණත් එම අරගලය අත් නොහරින බව ද ගරු සිරිල් ගාමිණී පියතුමන් කීහ.

මෙම අරගලය ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී හා විද්‍යානුකූලව සිදුකරන බව ද සඳහන් කල ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මෙම අදහස් පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේදී ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවේ ඇති නිර්දේශ අනුව වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීම නීතිපතිවරයාගේ යුතුකම සහ වගකීම බවත්, ඔහු එසේ නොකරන්නේ නම් ඒ බව ඍජුව ප්‍රකාශ කළ යුතු බවත් පියතුමන් ප්‍රකාශ කලා.
නීතිපතිවරයා නඩු පවරන්නේ නැතිනම් කොමිෂන් සභා වාර්තාවේ සහ පාර්ලිමේන්තු විවාදයේ හැන්සාඩ් වාර්තාවල ඇති කරුණු අනුව කතෝලික සභාව ලෙස නඩු පැවරිය හැකිද යන්න ගැන නීති විශාරදයන්ගේ උපදෙස් ලබාගනිමින් සිටින බව ද ගරු සිරිල් ගාමිණී පියතුමෝ කීහ.

නීතිපතිවරයා ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් කොමිෂන් සභාව දැමීමේ තේරුමක් නැති බවත්, එය ජනතා මුදල් නාස්තියක් පමණක් බවත්, පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයාගන්නා අරගලය නොනවත්වන බව කී පියතුමෝ මඩගැසීම් හා බියකිරීම් තුළින් මෙය නැවැත්විය හැකි බව කවුරුන් හෝ සිතන්නේ නම් එය වැරදීමක් බව ද පැවසූහ.

එය වෛරය ගැන ප්‍රශ්නයක් නොවන බවත්, වරදකරුවන්ට සමාව දී අවසන් බව කී පියතුමන් සමාව දීම හා සත්‍ය හෙළිදරව් කිරීම යනු දෙකක් බව ද කීහ.

මෙම ප්‍රහාරය එල්ල කළ අය මෙන්ම දැන දැන ප්‍රහාරය වළක්වා නොගත් අය යන දෙපිරිසම එක හා සමාන අපරාධයක් කර ඇතැයි කී පියතුමෝ එහි සත්‍ය සොයාගැනීමේ සටන කතෝලික සභාවම එක්ව සිදුකරන්නක් බව ද කීහ.
විදේශ රටවල මේ සම්බන්ධයෙන් සිදුවන විරෝධතා එම ජනතාව විසින් සංවිධානය කරන ඒවා බවත්, කතෝලික සභාව ඊට සම්බන්ධ නැති බවත් ගරු සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ.

https://www.facebook.com/RVASinhala/videos/2628156967494101

Leave a Reply

Your email address will not be published. Required fields are marked *