ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ලබාගත් පැරා ඔලිම්පික් රන්පදක්කම මෙරටට ලබාදුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් බලලත් නිලධාරි 1 නිළයේ සිට ලුතිතන් නිළයෙන් අධිකාරියට පත්කිරීම පසුගියදා යුධ හමුදා සංවත්සරයට සමගාමීව සිදු කරන ලදී.

2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීම වෙනුවෙන් ලුතිතන් දිනේෂ් ප්‍රියන්ත හේරත් පැමිණි ගමන් මග ඔහු දිනූ පදක්කම තරම් සුන්දර වූවක් නොවීය. එසේ වුවත් ඔහුගේ විඳදරාගැනීම සහ අපමණ ධෛර්යය ඒ සියළුම බාධක පරදවමින් ඔහුව රන් පදක්කම දක්වා ඔසවා තැබීය.

අනුරාධපුර ඉපලෝගම කාගම නම් කුඩා ගම්මානයේ උපන් දිනේෂ් අධ්‍යාපනය ලැබුවේ කාගම ධාතුසේන මහා විද්‍යාලයෙනි. 2005 දී ශ්‍රී ලංකා යුද හමුදාවට ආධුනික සෙබළෙකු ලෙස එක්වූ අතර 3 ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව ක්‍රියාන්විත රාජකාරියේ නිරතවන ලදී.

2008 අප්‍රේල් මාසයේදී ඉෂංකා මධුවන්ති මෙනවිය සමග යුග දිවියට පත් දිනේෂ් එම වසරේම නොවැම්බර් මාසයේදී මානුෂීය මෙහෙයුම් වල නිරතව සිටියදී කිලිනොච්චියේදී ත්‍රස්තවාදී මෝටාර් ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබීය.

එම මෝටාර් ප්‍රහාරයෙන් ඔහුගේ වම් අතට තුවාල සිදුවීම නිසා වසර හතරක පමණ කාලයක් ප්‍රතිකාර ලැබීය. අනතුරුව 2012 වසරේ ගජබා රෙජිමේන්තු පැරා ක්‍රීඩා කණ්ඩායමට ඇතුලත් වූ දිනේෂ් එතැන් සිට හෙල්ල විසිකිරීම සහ වෙඩි තැබීම වැනි ක්‍රීඩා සඳහා යුද හමුදා පැරා තරගවලට ඉදිරිපත් වූ අතර 2014 දී යුද හමුදාවෙන් වෛද්‍ය හේතුන් මත කෝප්‍රල් නිළයෙන් විශ්‍රාම ලැබීය.

අනතුරුව 2016 රියෝ පැරා ඔලිම්පික් උළෙලට සහභාගි වී හෙල්ල විසිකිරීම ඉසවුවෙන් ලෝකඩ පදක්කම ලබා ගත්තේ මලල ක්‍රීඩකයකු ලෙස තම අසීමිත හැකියාවන් ප්‍රදර්ශනය කරමිනි. එම ජයග්‍රහණය ඔහුගේ ජීවිතය වෙනස් කිරීමේ සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි අතර එම ජයග්‍රහණය වෙනුවෙන් එවකට යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා දිනේෂ්ව සැරයන් නිලයට උසස් කරන ලදී. එයට අමතරව, රුපියල් මිලියන 1.5 ක මුදල් තෑග්ගක් සහ ඔහුගේ ඉඩමේ නව නිවසක් ඉදිකර දීමට සුබසාධන අධ්‍යක්ෂ මණ්ඩලය හා යුධ හමුදා ඉංජිනේරු බළකායේ සහායෙන් කටයුතු කිරීමටත් ඒ සදහා තවත් රුපියල් මිලියන 1.5 ක ප්‍රදානයක් ලබාදීමට කටයුතු යොදන ලදී.

පසුව ඔහු 2017 ලන්ඩන් ලෝක පැරාලිම්පික් ශූරතාවලියේදී රිදී පදක්කමක්, 2018 ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කමක් සහ 2019 ඩුබායි ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගත්තේය. නමුත් ඔහුගේ ඒකායන අරමුණ වූයේ පැරා ඔලිම්පික් රන් පදක්කමයි. එම අධිෂ්ඨානයෙන් පුහුණුවීම් කල ඔහු 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට ඉදිරිපත් වීමට සුදුසුකම් ලැබීය.

එහිදී, අගෝස්තු 30 වැනිදා ටෝකියෝ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පැරාලිම්පික් රන් පදක්කම දිනේෂ් ප්‍රියන්ත හේරත් දිනා ගත්තේය.

එම ජයග්‍රහණය මෙරට ක්‍රීඩා වංශ කථාව වෙනස් කල අවස්ථාවක් බවට පත් වූ අතරම, එම ජයග්‍රහණය ලද දිනේශ් ප්‍රියන්තව වත්මන් යුධහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් බලලත් නිළධාරි 1 නිළයට උසස් කරන ලදී. එයට අමතරව ක්‍රීඩා අමත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රජයෙන් රුපියල් මිලියන 50 ක මුදල් ත්‍යාගයක්ද, රජයේ නිවාස ව්‍යාප්තියකින් නව නිවසක්ද ලබාදීමට කටයුතු කරන ලදී.

එකී ඇගයීම් වල නවතම උපහාරය වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි පසුගියදා දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන් නිළයෙන් අධිකාරියට පත්කිරීමයි. ඒ අනුව, 2021 සැප්තැම්බර් මස 01 දින සිට බලපාන පරිදි හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් ලුතිනන් වරයෙකු ලෙස අධිකාරියට පත් කර ගැසට් නියෝගයක් නිකුත් කර ඇත.

දරුවන් තිදෙනකුගේ ආදරණීය පියෙකු වන ලුතිනන් දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා ශ්‍රී ලංකාවට ගෙනා කීර්තිය උදෙසා සුභපතන අතරම ඔහුගේ අනාගත ජීවිතය සාර්ථක වේවායි සුවහසක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ආශිර්වාද කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *