විදේශීය රටවල්වලින් රටට අහිතකර කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් පත්වී තිබේ.

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමගම මෙරට කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනයාම පිළිබදව සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීමත්, ගොවි ජනතාවට සුදුසු විකල්ප ක්‍රමවේද ඇතිනොකිරීමත් තුල වගාවන්ට අවශ්‍ය පොහොර නොමැතිවීම බරපතල සමාජීය ගැටළුවක් බවට පත්විය.

මෙම තත්වය දඩමීමා කරගනිමින්, දේශපාලන සම්බන්ධකම් මත හෝ රාජ්‍ය නිළධාරීන්ගේ සම්බන්ධකම් මත හෝ යම් පුද්ගලයෙකු හෝ කණඩායමක් මෙරටට නොගැලපෙන හා පරිසරයට මෙන්ම වගාවන්ට අහිතකර කුමන හෝ ආකාරයක දූෂ්‍ය කාබනික පොහොර ආනයනය වලකන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය ඊයේ (2021.10.15) අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

පරිසර යුක්ති කේන්ද්‍රය, හේමන්ත සිසිර කුමාර, දිලෙන කංකානමගේ යන පාර්ශව මෙහි පෙත්සම්කරුවන් වන අතර, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් කරමින් මෙම නඩුව පවරා ඇත.

පෙත්සම්කරුවන් තම පෙත්සමෙන් පෙන්වා සිටින්නේ, රසායනික පොහොර ආනයනය සදහා වාර්ෂිකව වැයවන ඩොලර් මිලියන 400 ක් පමණ වන මුදල ඉතිරි කර ගැනීමේ අරමුණින් කිසිදු විකල්ප ක්‍රමවේදයක් හෝ සැලසුමක් නොමැතිව රජය රසායනික පොහොර ආනයනය තහනම් කිරීම තුල ඇතිවූ උග්‍ර විරෝධය මත ඊට විකල්පයක් ලෙස ඩොලර් මිලියන 63 ක් වැයකරමින් චීනයේ සමාගමක් විසින් නිශ්පාදිත කාබනික පොහොර තොගයක් මෙරටට ගෙන්වීමට කටයුතු කලත් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් හා බැක්ටීරියා සහිත බව හේතුවෙන් එකී පොහොර තොගය රසායනාගාර සහ ප්‍රමිති පරීක්ෂණයන් වලින් අසමත් වී ඇති බවත්ය.

පවතින තත්වය තුල රටට අහිතකර විවිධ මාදිලියේ විෂ වර්ග සහිත පොහොර වර්ග කාබනික පොහොර නාමය යටතේ මෙරටට ගෙන්වීමට ඉඩ ඇති බැවින් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති පිරිවිතරයන්ට මෙන්ම, 1981 ශාක ආරක්ෂක පණතට ද අනුකූල නොවන ආකාරයේ කිසිදු කාබනික පොහොරක් ආනයනය කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ගරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *