Post Views: 165 ශ්‍රී ලංකාවේ සමස්ත විභාග ක්‍රමවේදයේම දැවැන්ත පරිවර්තනයක් සනිටුහන් කරමින්, ඕනෑම අපේක්ෂකයෙකුට තමන් පෙනී සිටි විභාගයක පිළිතුරු පත්‍ර සහ ලකුණු ලබාදුන් ක්‍රමවේදය (Marking Scheme) ලබාගැනීමට නීත්‍යානුකූල අයිතියක් ඇති බව ශ්‍රී ලංකා අභියාචනාධිකරණය ඓතිහාසික තීන්දුවක් දෙමින් ප්‍රකාශ කර ඇත. 2026 මැයි 8 වන දින ලබා දුන් මෙම සුවිශේෂී තීන්දුවත් සමඟ, මෙතෙක් කල් රාජ්‍ය සහ උසස් අධ්‍යාපන ආයතන විභාග සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය අධික රහස්‍යභාවය සහ ඒ වටා ගෙතුණු අක්‍රමිකතාවලට වැට බඳිනු ඇතැයි විශ්වාස කෙරේ. මෙම සුවිශේෂී නඩු තීන්දුව (නඩු අංක: RTI/01/2024) නිර්මාණය වන්නේ එක් දිරිය පියෙකු තම දියණිය වෙනුවෙන් කළ අඛණ්ඩ නීතිමය සටනක ප්‍රතිඵලයක් වශයෙනි. 2023 ජනවාරි 8 දින ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පැවැති LLB (නීතිවේදී) ප්‍රවේශ විභාගයට ආර්.ඒ.ඩී. සශින්ද්‍යා රණසිංහ නම් සිසුවිය පෙනී සිටියාය. ඇයගේ ලකුණු පිළිබඳව ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් මත, ඇයගේ පියා වන ජනක රෝෂන් රණසිංහ මහතා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත (RTI) භාජනය කරමින් දියණියගේ පිළිතුරු පත්‍රය සහ ලකුණු ලබාදුන් ක්‍රමවේදය විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, විවෘත විශ්වවිද්‍යාලයේ තොරතුරු නිලධාරියා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. ඒ සඳහා ඔවුන් උපුටා දක්වා තිබුණේ තොරතුරු දැනගැනීමේ පනතේ 5(1)(1) වගන්තියයි. පිළිතුරු පත්‍ර හෙළිදරව් කිරීමෙන් විභාග ක්‍රමවේදයේ ස්වාධීනත්වය සහ අඛණ්ඩතාවයට හානි විය හැකි බව විශ්වවිද්‍යාලයේ තර්කය විය. ඉන් පසුබට නොවූ පියා, මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කළේය. කරුණු සලකා බැලූ කොමිෂන් සභාව 2023 නොවැම්බර් 28 දින අදාළ තොරතුරු සිසුවියගේ පියාට ලබාදෙන ලෙස විශ්වවිද්‍යාලයට නියෝග කළේය. විශ්වවිද්‍යාල බලධාරීන් එම නියෝගයට ද අභියෝග කරමින් අභියාචනාධිකරණය හමුවට ගියේය. විශ්වවිද්‍යාලයේ පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා (විනිසුරු ආර්. ගුරුසිංහ මහතාගේ එකඟත්වය ඇතිව) ප්‍රකාශ කළේ, විභාග අපේක්ෂකයෙකු තමන් ලියූ පිළිතුරු පත්‍රය ඉල්ලා සිටින විට එය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවයි. “උසස් අධ්‍යාපන ආයතන තුළ හැංගි මුත්තන් සෙල්ලම් පැවතිය නොහැක. විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර නීති රීති සහ රෙගුලාසි රටේ පොදු නීතියක් වන තොරතුරු දැනගැනීමේ පනතට යටත් විය යුතු අතර, එය අභිබවා යාමට විශ්වවිද්‍යාලවලට හැකියාවක් නැත.” යනුවෙන් අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් ය. මෙම තීන්දුව විශ්වවිද්‍යාල පද්ධතියට පමණක් නොව, ලංකාවේ සමස්ත රාජ්‍ය රැකියා සහ තරග විභාග ක්ෂේත්‍රයටම සෘජුවම බලපානු ඇත. මෙහි ප්‍රධාන ප්‍රතිලාභ කිහිපයකි:දූෂණය සහ අල්ලස වැළැක්වීම: ප්‍රශ්න පත්‍ර, පිළිතුරු පත්‍ර සහ ලකුණු දීමේ පටිපාටිය විවෘත වීමෙන් දේශපාලන අනුග්‍රහය, මුදල් බලය, නිලතල හෝ ලිංගික අල්ලස් වැනි දූෂිත ක්‍රම මගින් ලකුණු වෙනස් කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහෝසි වේ.සුදුස්සාට සුදුසු තැන: “සුදුස්සාට සුදුසු තැන” ලැබෙන බවට සහතිකයක් ලැබෙන අතර, විභාග ක්‍රමවේදය කෙරෙහි බිඳවැටී තිබූ මහජන විශ්වාසය නැවත ගොඩනැඟේ.රහස්‍යභාවයේ සංස්කෘතිය බිඳවැටීම: විභාග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සතු වූ “අනිසි රහස්‍යභාවය” වෙනුවට විනිවිදභාවය ආදේශ වේ. දැනටමත් ඇතැම් ප්‍රගතිශීලී රාජ්‍ය ආයතන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර තම වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන ඇත. මෙම අභියාචනාධිකරණ තීන්දුව තොරතුරු දැනගැනීමේ පනත (RTI) මහජනතාව සතු බලගතුම ආයුධයක් බව නැවත වරක් ඔප්පු කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ රාජ්‍ය සේවා ක්ෂේත්‍රයේ ගුණාත්මක වෙනසක ආරම්භයයි. මෙතැන් සිට සියලුම රාජ්‍ය ආයතන මෙම අධිකරණ තීන්දුවට අනුකූලව කටයුතු කළ යුතු අතර, විභාග ප්‍රශ්න පත්‍ර, පිළිතුරු පත්‍ර සහ ලකුණු ලබාදීමේ ක්‍රමවේද මහජනතාවට විවෘත කළ යුතුය. Post navigation අටමස්ථානාධිපති කොළඹ පෞද්ගලික රෝහලකදී අත් අඩංගුවට ගනී. අරවින්දගේ සාක්ෂිය අනුව කපිලට ඇත්තටම ඇපදුන්නේ කවුද…….