අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර ව්‍යාජ ලෙස මුද්‍රණය කර මුදලට ලබාදුන් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්වී ඇත.

අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා දෙමටගොඩ, වැල්ලවත්ත සහ ආදුරුප්පුවීදිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
එහිදී අනාවරණය වී ඇත්තේ එම ව්‍යාජ බලපත්‍රවල වේල්ලවීදිය ප්‍රාදේශීය ලේකම් නිකුත් කළ ඒවා බවට හඟවමින් මුද්‍රාවක් ද තබා ඇති බවය.

එම වැටලීමේදී මුද්‍රණය කරන ලද ව්‍යාජ අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර 12ක්, වේල්ලවීදිය සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ නම ඇතුළත් කර ව්‍යාජව සකසන ලද මුද්‍රාවක්, දින මුද්‍රාවක්,පරිගණකයක්, ස්කෑන් යන්ත්‍රයක් සහ ප්‍රින්ටරයක් ද සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ස්වයං රැකියා සංගමයක හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ අයෙකු බවද පොලීසිය කියයි.

ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර රුපියල් 3,000 සිට 5,000 දක්වා මිල ගණන්වලට අලෙවිකර ඇති බව වැඩිදුරටත් අනාවරණය වී ඇත.
එලෙස ව්‍යාජ බලපත්‍ර මිලදී ගත් පුද්ගලයින් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *