
අනුරාධපුර මහා රෝහලේ වෛද්‍යවරිය ලිංගික අපහරණය කල සැකකරු හඳුනා ගැනේ.
අනුරාධපුර රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරය තුළ දී එම රෝහලේ වෛද්‍යවරියක් ලිංගික අපහරණයකට ලක්කිරීමට අදාළ සැකකරු හඳුනාගෙන ඇති බවත් ඔහු අත් අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියාකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කරන ලදී.
දැනට වාර්තා වන ආකාරයට මෙම සැකකරු හමුදා සේවයෙන් පලාගිය පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇත.
මේ අතර, මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා රෝහල් වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ද ආරම්භ කර තිබේ.
අපි ජනතාවක් විදියට ජීවත්වෙන්නෙ මොනතරම් අවධානම් සහගත සමාජයකද කියන දේ තේරුම් ගන්න අනුරාධපුර රෝහලේ සිදුවීම ඉහටත් උඩින්.
මේ සමාජය ජරාජීර්ණ කිරීමේ වගකීමෙන් වැඩි කොටසක් යන්නේ මේ රටේ මාධ්‍යයට. එයිනුත් විද්‍යුත් නාලිකා ප්‍රධාන තැනක් ගන්නවා. ඔබ මොහොතක් කල්පනා කරලා බැලුවොත් තේරුම් යයි වර්තමානයේ බොහෝ රූපවාහිනී නාලිකාවල යන හරසුන් නමුත් ලිංගිකත්වය ඉතාම නොහොබිනා ලෙසට උද්දීපනය වන ටෙලිකතා වගේම ගෙඩිය පිටින් කොපි කරන ඉන්දියානූ මොඩලයේ වැඩසටහන් වලිනුත් කෙරෙන්නේ ජන මනස ව්‍යාකූලත්වයට පත්කිරීමක් පමණයි.
ඒ වගේම යම් සිදුවීමක් වූ විට එයට නීතිය ඉෂ්ට වීමට දීර්ඝ කාලයක් ගතවීමත් රටේ අපරාධ ඉහල යාමට හේතුවක් වනවා.
පහතින් පලවෙන්නෙ තම බිරිඳ වෛද්‍යවරියක් වෙච්ච වෛද්‍යවරයෙක් ලියපු දෙයක්,
……………….
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් ඊයෙ රාත්‍රියේ බරපතළ ලිංගික අතවරයකට ලක්වුන පුවතින් දැඩි සේ කම්පාවට සහ භීතියට ලක්වෙලා මේක ලියන්නෙ.
ලංකාවෙ රස්සාවක් විදියට වැඩිම අනාරක්ෂිත තත්වයක ඉන්නෙ වෛද්‍යවරියන්. මට ඒ ගැන පුදුම සංවේදී පෞද්ගලික අත්දැකීම් තියෙනව. මගෙ බිරිද වැඩකරන්නෙ කිලිනොච්චියෙ රෝහලේ, මම ගාල්ලෙ, අපි ඉන්නෙ කිලෝමීටර 450 ඈතින්, එයා වැඩට යන්නෙ රෑ වැල්ලවත්තෙන් යන ජැෆ්නා බස් එකෙන්, පාන්දර තමා කිලිනොච්චියෙ බහින්නෙ, එක දවසක් බස් එකෙ කොන්ද වෙන බෑග් එකක් දීලා ඒ ගමන් බස් එක අද්දලා, බස් එකට කෝල් කලාම ත්‍රීවීල් එකක් අරන් බස් එක තියෙන තැනට එන්න කියනවා ඌ, කොහොමහරි ඌට බැනලා බෑග් එක ගෙන්න ගත්තා.
බහුතරයක් විශේෂඥ කාන්තා වෛද්‍යවරියන් , පශ්චාත් උපාධි හදාරන වෛද්‍යවරියන් ගෙදරින් කිලෝමීටර් 100 ගානක් දුර තනියම ට්‍රැවල් කරනව මහ රෑ, බහුතරයකට ඉන්න නිල නිවාස නෑ, කාගෙ හරි අනාරක්ෂිත ගුබ්බෑයමක නොවටිනා ගනන් ( පඩියෙන් 1/10 ක්) ගෙවලා කුලියට නැවතී ඉන්න ඕන, ඔන්කෝල් රෑම් එකක් නැත්නම් oncall කරන කොට මහරෑ එන කෝල් එකකට විනාඩි විස්සක් ඇතුලත කොහොමහරි යන්න ඕන, එතකොට යන්නෙ එන්නෙ මහ රෑ තනියම. පුදුම අනාරක්ෂිත තත්වයක් තියෙන්නෙ, හොස්පිටල් ඇතුලෙ තියෙන ක්වාටස් සමහර ඈත තැන් වල තියෙන්නෙ කැලෑ මැද ඉස්පිරිතාලෙ කොනක, ඒවා වටෙ කුඩ්ඩොයි හොරුයි, මේ මිනිස්සුන්ගෙ ආරක්ශාව කොහොම හරි හදන්න ඕන.
එක්කො සිකියුරිටි එකක් , ආරක්ෂිත ප්‍රවාහන ක්‍රමයක්, ආරක්ෂිත නිල නිවාස දෙන්න ඕනෙ.
මමනෙ දන්නෙ ඒ මනුස්සයා රැ බස් එකෙ උඩට පහලට යනකොට පරිස්සමින් ගියා හරි දැන් කොටුවට ලගයි ගන්න එන්න කියනකම් හරි රෑ එලිවෙනකම් ෆෝන් එක දිහා බලන් බිත්තර තම්බ තම්බ ඉන්න එකෙ අමාරුව.
මේ මගුල දැන්වත් නිවැරදි කරන්න ඕන.😢
…………..
අපිට සහකම්පනය තියනව නම් තේරුම් යන්න ඕනේ කිසිම කාන්තාවක් තමන්ගේ කැමත්ත නොමැතිව ස්පර්ශ කිරීමක් හෝ සිදුකරන මිනිස්සු ඒ කරන්නෙ අසමජ්ජාති වැඩක් කියලා. මේක වෛද්‍යවරියකට විතරක් නෙමේ කිසිම කාන්තාවකට නොවිය යුතු දෙයක්.
අපි සමාජයක් ලෙස විරුද්ධ විය යුත්තේ මෙවැනි බරපතළ තත්වයකදී විතරක් නොවේ බසයේදී, දුම්රියේදී, කාර්යාලයේදී හෝ මොනයම් තැනකදී උවත් කාන්තාවක් හිංසනයට , පීඩාවට පත් වෙන්නේ නම් ඒ අපේ මව, සහෝදරී, බිරිඳ හෝ දරුවා කියන හැගීම රටේ සෑම පුරවැසියෙකුගේම හිතේ ඇතිවිය යුතුයි.
නීතියෙන් හදන්න බැරිනම් සමාජයෙන් මේ තත්වය හදමු..😢😢
Average Rating