ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙස මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව අගවිනිසුරුවරිය ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරන ලද අතර මෙරට අගවිනිසුරු ධුරයට පත් දෙවන කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඉතිහාසයට එක් වෙයි.
1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක් වූ ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයටත් උසස්වීම් ලබා ඇත.
මුර්දු ප්‍රනාන්දු මහත්මිය රජයේ නීතිඥවරියක ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී වසර 30කට වැඩි කාලයක් එහි සේවය කර තිබෙන අතර 2018 මාර්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර තිබේ.
මුර්දු ප්‍රනාන්දු මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස සේවය කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියද වේ.
මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීති විභාගයේ ප්‍රථම ස්ථානය හිමි කර ගනිමින් ශ්‍රීමත් ලලිතා රාජපක්ෂ අනුස්මරණ ත්‍යාගය මෙන් ම ඒ.බී. කුරේ අනුස්මරණ ත්‍යාගය ද ලබා ගැනීමට සමත්ව තිබේ.
මෙරට කතාබහට ලක්වූ නඩුකර කිහිපයකදී ම මුර්දු ප්‍රනාන්දු මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස කටයුතු කර තිබේ.
2018 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ සිද්ධිය නීති විරෝධී බව ප්‍රකාශ කරන ලද සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ඇය විනිසුරුවරියක ලෙස කටයුතු කළා ය.
එමෙන් ම පාස්කු දින බෝම්බ ප්‍රහාර සම්බන්ධව මූලික අයිතිවාසිකම් කඩ කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් කරමින් පවරා තිබූ පෙත්සම් විභාග කළ සත් පුද්ගල විනිසුරු මණ්ඩලයේ ද ඇය සමාජිකාවකි.
මරණීය දණ්ඩනය හිමිව සිරදඬුවම් විඳිමින් සිටි හිටපු හමුදා සෙබළෙකු වු සුනිල් රත්නායකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමාව ලබා දීමට එරෙහිව ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී විනිසුරුවරියක් ලෙස කටයුතු කළ ඇය පසුව එම නඩු විභාගයෙන් ඉවත් විය. මරණ දඬුවමට එරෙහිව සුනිල් රත්නායක ගොනු කළ අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකාවක ලෙස කටයුතු කළ බැවින් නඩුවෙන් ඉවත් වන බව විනිසුරුවරිය දැනුම් දී තිබිණි.
රට තුළ මතු වී තිබූ ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි 2023 වසරේ නොවැම්බර් 14 වන දා තීන්දු කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ද මුර්දු ප්‍රනාන්දු සාමාජිකාවක විය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු සැලසුම් කරමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා 2024 ජුලි මාසයේ සී.ඩී. ලෙනව ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ද ඇය එක් විනිසුරුවරියක් විය.
Average Rating