යාපනයේ හමුදා කදවුරු ඉවත් කිරීමේ ඇත්ත කතාව මොකක්ද ?
මෙරට බහුතර සිංහල ජනතාව ප්‍රධාන පක්ෂ වලට දේශපාලනික වශයෙන් ආකර්ෂණය කරගැනීමේ මූලිකම ක්‍රමවේදයක් වූ ජාතිවාදය හෝ ආගම්වාදය යන තේමාව තවදුරටත් වලංගු නොවන බව පසුගිය ජනපතිවරණයෙන් හා මහමැතිවරණයෙන් පෙනීගිය කාරණයකි. මෙතෙක් කලක් උතුරු නැගෙනහිර මැතිවරණ කොට්ඨාශ වල බලය තහවුරුකරගත් දමිළ දේශපාලන පක්ෂ වලින් විතැන්වූ දෙමළ ජනතාව ජාතික ජන බලවේගය වෙත සිය ඡන්දය ප්‍රකාශ කිරීම දකුණේ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රවාහයන් දැඩි කැළඹීමකට ලක් කරන්නක් බවත් පෙනී යයි.
එවන් තත්වයක් මත, මහමැතිවරණයෙන් පසුව උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධව වඩාත් කතාබහට ලක්වන සිදුවීම් ලෙස, යාපනය, ආරක්ෂක සේනා මූලස්ථානය හරහා පලාලි සිට අච්චුවේලි දක්වා වන මාර්ගය සාමාන්‍ය ජනතාවගේ ගමනාගමන කටයුතු වෙනුවෙන් විවෘත කිරීම සහ යාපනය පේදුරුතුඩුව කට්කෝවලන් ප්‍රදේශයේ අක්කර අටක පමණ භූමි ප්‍රදේශයක පිහිටි හමුදා කඳවුරක් ඉවත් කොට අදාළ කඳවුරු භූමිය මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු කිරීම සදහන් කල හැක.
මේ තත්වය පිළිබදව සලකා බැලීමේදී, වසර 30 කට අධික කාලයක් වසා දමා තිබූ පලාලි සිට අච්චුවේලි දක්වා වූ මාර්ගයේ ආරක්ෂක සේනා මූලස්ථානය හරහා තිබූ කොටස වසාදමා තිබීම හේතුවෙන් කිලෝ මීටර් 2 කින් යා හැකිව තිබූ ගමණක් කදවුර වටා අති මාර්ගයෙන් ගමන් කිරීම තුල කිලෝ මීටර් 5 කට වැඩි ගමනක් බවට පත්ව තිබීම එම ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට මහත් පීඩාවක් ව තිබූ බව පෙනී යයි. ඉතා අඩු පහසුකම් හා අඩු ආදායම් තත්වයක් මත ජීවත්වන එකී ජනතාවට එවැනි තීරණයක් පවා මහත් සහනයක් බව ඔවුන් සදහන් කර සිටී.
දකුණේ සම්ප්‍රදායික දේශපාලන මතවාද වලින් බැහැරව ජාතික ජන බලවේගය රජය උතුරේ ජනතාවට සහනයක් සැලසීම සඳහා ගනු ලැබූ සාධනීය ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර හදුන්වා දිය හැකිය.
ඒ සමගම මෙතෙක් කලක් රජයේ ආරක්ෂක අංශ බාරයේ පවතින පුද්ගලික හිමිකරුවන්ගේ ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන් වෙත පවරාදීමටද රජය පියවර ගනිමි ඇත. ඒ අනුව, යාපනය පේදුරුතුඩුව කට්කෝවලන් ප්‍රදේශයේ අක්කර අටක පමණ භූමි ප්‍රදේශයක පිහිටි හමුදා කඳවුරක් ඉවත් කොට අදාළ කඳවුරු භූමිය මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට යුද හමුදාව මේ වන විට කටයුතු කරමින් සිටියි.
මේ සම්බන්ධව හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර සදහන් කරනුයේ, අදාළ කඳවුරේ පැවති ස්ථිර ගොඩනැගිලි හා කඳවුර තුළ පැවති ආරක්ෂක මුරකුටි ආදිය මේ වන විට ඉවත් කරමින් සිටින බවත්, එම ඉවත් කර ගැනීම් අවසන් වු පසුව කඳවුර පැවති සීමාව මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට නියමිත බවත් ය. එමෙන්ම, වර්තමානයේදී උතුරු පළාත තුළ යුද හමුදාව භාරයේ රජයේ ඉඩම් අක්කර 7264.59 ක් හා පෞද්ගලික ඉඩම් අක්කර 2306.77 ලෙසට ඉඩම් අක්කර 9571.36 ක ප්‍රමාණයක් පවතින බවත් නැගෙනහිර පළාත තුළ යුද හමුදාව භාරයේ රජයේ ඉඩම් 3596.90 ක් සහ පෞද්ගලික ඉඩම් අක්කර 41.48 ක් ඇතුළු අක්කර 3638.38 ක ප්‍රමාණයක් පවතින බවද හමුදා ප්‍රකාශකවරයා පැවසීය.
කෙසේ වෙතත්, යුද්ධයෙන් අනතුරුව ක්‍රම ක්‍රමයෙන් පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම මත උතුරු නැගෙනහිර පෞද්ගලික ඉඩම් වැඩි ප්‍රමාණයක් මේ වන විට නිදහස් කර ඇති බවත් තවත් සීමිත පෞද්ගලික ඉඩම් ප්‍රමාණයක් පමණක් තවමත් නිදහස් කිරීමට ඇතැයි ද හමුදා ප්‍රකාශකවරයා පැවසීය.
උතුරේ ජනතාවගේ බලාපොරොත්තුවද දකුණේ ජනතාවට මෙන්ම ඔවුන්ටද සාමකාමී දිවියක් ගත කිරිම වන අතර ජනතාවාදී රජයක වගකීම වනුයේද එම වාතාවරණය නිසි ක්‍රමවේද වලට අනුව ඉටුකරමින් රටේ ආරක්ෂාවද තහවුරු කිරීම වේ. ඒ තත්වය වත්මන් රජය ඉටු කරනු ඇතැයි ජනතාවගේ බලාපොරොත්තුවයි.
Average Rating