බංකොලොත් දේශපාලනයට ඔක්සිජන් දෙන මාධ්‍ය ජවනිකා

Read Time:8 Minute, 48 Second

අප රට මේ වන විට සිටිනුයේ ඉතාමත් වදගත් හා තීරණාත්මක දේශපාලන සංධිස්ථානයකයි. දශක ගණනාවක් පුරා එකම කල්ලියකින් පැවැත ආ කණ්ඩායමක් අත රැදි මෙරට පාලන බලය පසුගිය ජනාධිපතිවරණයේදී විකල්ප මතයක් දරන සමාජ දේශපාලන ව්‍යූහයක් වෙතට ජනතා කැමැත්තෙන් පවරාදෙනු ලැබීය.
මෙම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බල පෙරළියට සමහර දේශපාලන හෙංචයියන් විසින් විවිධ අර්ථකතන ලබාදුන්නද එකී බල පෙරළිය තුල පැහැදිලිවම පෙනෙන්නට වූ කරුණ නම් මෙරට සම්ප්‍රදායික දේශපාලක පරම්පරාවල් රටේ ජනතාවට වහකදුරු වී ඇති බවයි. මේ තත්වය තේරුම් ගත් බොහෝ දේශපාලකයින් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම හෝ නොකර පැත්තකට වීමට කටයුතු කලත් තමන් මෙතෙක් දැරූ අති සුඛෝපභෝගී ජීවීතය හා බලපරාක්‍රමය ගිලිහී යාම තුල ඇති සංතාපය ඔවුන් විසින් විවිධ ආකාරයට සමාජයට මුදාහරිමින් පවතී.
මේ සදහා ඔවුන් රට තුල සිදුවන ඕනෑම කරුණක් අතිශයෝක්තියට නංවමින් ඒ හරහා වත්මන් රජය අපකීර්තියට පත් කිරීමට උත්සහා කරන බව ගෙවීගිය දින කිහිපය තුල මනාව පැහැදිලි විය.

ණය ගැනීම සම්බන්ධ පුවත

පසුගිය දිනවල රටේ ඉතාම ජනප්‍රිය පුවතක් වූයේ මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කිරීම් හරහා රජයට මුදල් ලබාගැනීම සම්බන්ධ පුවතයි. මහ බැංකු වාර්තාවලට අනුව වත්මන් ජනපති පත්වීමෙන් පසුව පසුගිය සැප්තැම්බර් 21 සිට මේ දක්වා රජය විසින් රුපියල් බිලියන 539.5 ක ව්ටිනාකමක් සහිත දේශීය ණය ලබාගෙන තිබෙනවා. දේශපාලන බඩගෝස්තර වාදීන් කියන ලෙසට අනුර කුමාර දිසානායක ජනපති වීමෙන් පසුව පමණක් ද මෙසේ ණය ලබාගෙන තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම මෙතෙක් රටේ පාලන බලය හෙඹවූ පාලකයන්ගේ විනිවිදභාවයක් නොමැති මූල්‍ය පාලනය නිසා කෙටිකාලීන හා දිගුකාලීන වශයෙන් අති විශාල දේශිය ණය ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කිරීම හරහා ලබාගෙන තිබෙනවා.
එතකොට අනුර කුමාර රජයත් මේ හදිසියේ රුපියල් බිලියන 500 කට අධික ණය ලබාගත්තේ කුමකටද ? මේ මුදල් ලබාගෙන ඇත්තේ වෙන මොනවටවත් නොවේ පසුගිය කාලයේ ලබාගත් ණය පියවීම සදහා සහ ණය පොලිය ගෙවීම සදහායි.

උදාහරණයක් හැටියට, මහා භාණ්ඩාගාරය විසින් රජයට අවශ්‍ය මුදල් ලබාදීම සදහා 2023 වසරේ සැප්තැම්බර් මස 30 දින වසරක කාලයක් සදහා වන රුපියල් කෝටී 100 ක බැදුම්කර නිකුතුවක් කලායැයි සිතමු. එවිට එම බැදුම්කර 2024 සැප්තැම්බර් මස 30 දිනට කල් පිරෙන විට රජය එම කෝටි 100 ක මුදල පොලියත් සමග පියවිය යුතුයි. එවිට ඒ සදහා රජය සතුව මුදල් නොමැති නම් යලිත් භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැදුම්කර හරහා අදාල මුදල් සොයාගත යුතුයි.
ඒක තමයි ඔය පසුගිය දවස් වල මාධ්‍ය මගින් මහා ලොකු දෙයක් විදියට පෙන්නලා තිබ්බේ.
ඇත්තම කතාව නම් වත්මන් රජය පසුගිය සැප්තැම්බර් 21 සිට මේ දක්වා භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කිරීම හරහා ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 539.5 ක් උනත් එම කාලයට සාපේක්ෂව රනිල් වික්‍රමසිංහ රජය පසුගිය වසරේ මෙම කාලසීමාව තුල (සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා) පමණක් ලබාගෙන ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 837.72 ක්. ඒ අනුව බලන කොට වර්තමාන රජය පසුගිය රජයට සාපේක්ෂව රුපියල් බිලියන 298.22 ක් අඩුවෙන් තමයි ණය ලබාගැනීම කරලා තියන්නේ.

මහ බැංකු වාර්තා වල සදහන්ව තියන ආකාරයට රජයට ඉදිරියේදීත් මේ ක්‍රමවේදයටම තවත් විශාල මුදලක් ණයට ගැනීමට සිදුවෙනවා මොකද අපේ රටේ ආදායම දැනට ලබාගෙන තියන දේශීය ණය ගෙවීමට ප්‍රමාණවත් නොවන පසුබිමක පත්වෙන ඕනෑම රජයකට කල හැක්කේ මේ ක්‍රමවේදයම තමයි. ඒ සදහා කෙටි කාලීනව කල හැක්කේ රජයේ වියදම් නිසි කලමණාකාරීත්වයකින් පාලනය කිරීමට කටයුතු කර රාජ්‍ය ආදායම ඉහල නංවා ගැනීම පිණිස මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම පමණයි. වත්මන් රජයට ඒ සදහා විශාල වැඩකොටසක් ඉටු කිරීමට තිබෙන බවනම් සත්‍යයක්.

සහල් හිගය හා පොල් හිගය සම්බන්ධ පුවත

සහල් හිගය ගැන නම් මාධ්‍ය වල යන්නෙ අමූලික බොරු පසුගිය යල හා මහ කන්නවල රටේ වී අස්වැන්න පිළිබද සංඛ්‍යා දත්ත ගැන සලකා බැලීමේදී මේ වන විටත් රටේ සහල් අවශ්‍යතාවයට වඩා අතිරික්තයක් රට තුල සහල් තිබෙනවා. ඒවා වී වශයෙන් හා සහල් වශයෙන් රට පුරාම වගේම ප්‍රධාන පෙලේ මෝල් හිමියන්ගේ සහ වෙළෙන්දුන්ගේ ගබඩාවල තියනවා. ඒක නිසා රජය කලයුතු වන්නේ ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කර රට තුල සගවාගෙන තිබෙන සහල් තොග වෙළදපලට නිකුත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි.

පොල් හිගය ගැන කතා කලොත් නම් සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම අගෝස්තු අන්තිම සිට දෙසැම්බර් මුල දක්වා කාල සීමාව තුල රටේ පොල් ඵලදාව අඩුනිසා මේවගේ පොල් හිගයක් සහ මිළ ඉහල යාමක් සිදුවෙනවා. ඒකට තවත් හේතුවක් වෙන්නෙ වාර්ෂිකව රටේ පොල් අස්වැන්න ගන්න තියන වතු විශාල ප්‍රමාණයක් දේපළ වෙන්දේසි ආයතන විසින් නේවාසික පරිහරණය සදහා කැබලි කර විකිණීම. මේ තත්වය මත වසරින් වසර රටේ පොල් අස්වැන්න සීඝ්‍ර ලෙස පහත යනවා එයට සාපේක්ෂව මිළ ඉහල යනවා. මේ සදහාත් වර්තමාන රජයට ඉටුකිරීමට විශාල කා‍ර්ය භාරයක් තිබෙනවා. විශේෂයෙන්ම පොල් අස්වැන්න වැඩි කිරීමට රට තුල විවිධ ව්‍යවසායකයන් වැඩිදියුණු කල නිෂ්පාදන සදහා වෙළදපලක් සකස් කිරීම හා එම නිෂ්පාදන ධාරිතාවයන් පුළුල් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම වැනි කටයුතු රජයකින් ඉටු කල යුතුයි.

ජාතික ආරක්ෂාව

රටක මිනිසුන් වඩාත් සංවේදි වන තවත් කාරණාවක් තමයි රටේ ජාතික ආරක්ෂාව. අපි දන්නවා පසුගිය ඉතිහාසය පුරාම ජාතික ආරක්ෂාව, ජාතිය, ආගම ගැන මිනිස්සුන්ට නැති බිල්ලෝ මවලා ඒ හරහා රටේ පාලන බලය ලබාගත්ත හැටි. දැන් ආයිත් මේ කරලියට එන්නෙ යන එනමං නැති වෙච්ච බල ලෝභී දේශපාලන අවතාර බව රටේ ජනතාව හොදින් තේරුම් ගත යුතුයි.

මේ සියළු කරුණු කාරණාත් එක්ක ජනතාව තේරුම් ගත යුතුයි ඉදිරි කාලයේදී තව තවත් අළුත් අළුත් නාට්ටි රග දැක්වෙන්න පුළුවන් බව. මොකද දශක ගණනාවක් මහජන මුදල් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණයට පාවිච්චි කරපු සුළු පිරිසක් එතනින් ගැල උනාට තවත් විශාල ප්‍රමාණයක් රටේ ඉහල සිට පහලට විවිධ තනතුරුවල තවමත් යෙහෙන් වැජඹෙන බව අමතක කරන්නම එපා.

කමල් සිරිවර්ධන

Happy
Happy
100 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *