ඔක්තෝම්බර් 1 ලෝක ළමා දිනය ලෙස සදහන් කෙරෙන ප‍්‍රකාශ සත්‍ය නොවේ.
ඔක්තෝම්බර් මස 01 දින ලෝක ළමා දිනය බව සදහන් කරමින් එය සැමරීම සදහා වාර්ෂිකව සිදු කරන විවිධ සැමරුම් සම්බන්ධයෙන් පුවත් පල කිරීම සිදු කරනු ලැබූවද ලෝක ළමා දිනය සම්බන්ධයෙන් ඇති එම පුවත් සත්‍ය නොවේ.
මෙරට රාජ්‍ය ආයතන සහ විවිධ සංවිධාන ඔක්තෝම්බර් මස 01 දිනට යෙදෙන ලෝක ළමා දිනය සදහා උත්සව සංවිධානය කරමින් එ්වා සම්බන්ධව පූර්ව ප‍්‍රචාරයන් ලබා දෙමින් එ් ගැන ජනතාව දැනුවත් කිරීම් කරන අතරම වාර්ෂිකව මෙරට රාජ්‍ය නායකයින් ළමා දිනය සම්බන්ධයෙන් සුභ පැතුම් එක්කරමින් නිළ ප‍්‍රකාශ නිකුත් කිරීමද සිදුකරනු ලබයි.
පසුගියදා (01) එසේ නිමාව දැක්කේ 2024 වසරේ ලෝක ළමා දිනය වෙනුවෙන් අප රටතුල සිදුකල විවිධ වූ වැඩ සටහන් ය.
එම වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප‍්‍රචාරයක් ද ලබාදී තිබුනි. එසේ නම් ලෝක ළමා දිනය වන්නේ ඔක්තෝම්බර් මස 01 දින ද නොඑසේ නම් ඒ සදහා වෙනත් දිනයක් තිබේද ?
මේ සම්බන්ධයෙන් කල සොයා බැලීමේදී හෙළිවූයේ මෙවර පමණක් නොව මීට පෙර වසරවලදී පවා ලෝක ළමා දිනය සැමරීම අප රට තුල සිදුව ඇත්තේ ඔක්තෝම්බර් 01 දින ලෙස සලකා ගෙන බවයි.
ඒ බව වත්මන් ජනාධිපතිවරයා ළමා දිනය වෙනුවෙන් නිකුත්කල නිළ ප‍්‍රකාශනයෙන් මෙන්ම හිටපු ජනාධිපතිගේ නිළ ප‍්‍රකාශනයෙන් ද තහවුරු වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ළමා දිනය වෙනුවෙන් නිකුත්කල නිළ ප‍්‍රකාශය රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය ජාල වල පල කෙරී තිබූ අයුරු.
එහි සදහන් වන්නේ ලෝක ළමා දිනය 2024 ලෙසටයි.
මේ ආකාරයටම මීට පෙර සිටි හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් එසේ නිකුත්කල නිළ ප‍්‍රකාශය news.lk රජයේ නිළ වෙබ් අඩවියේ පලකර ඇත්තේ ද ලෝක ළමා දින සහ වැඩිහිටි දින පණිවුඩය World Children and Elder’s Day Message ලෙසටයි.
https://news.lk/news/political-current-affairs/item/34508-world-children-and-elder-s-day-message
එසේ වුවත් සත්‍යය වශයෙන්ම ඔක්තෝම්බර් මස 01 දින යනු ලෝක ළමා දිනය ද යන කරුණ පිළිබදව කල සොයා බැලීමේදී පෙනී ගියේ,
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශිත සහ ලෝකයේ රටවල් බහුතරයක් පොදු ලෙස එකගවූ සැමරුම් දිනයන් ගණනාවක් වසරකට ඇති අතර එම දිනයන් ලෝක සැමරුම් දින එසේත් නැතිනම් ගෝලීය සැමරුම් දින ලෙස සලකනු ලබන බවයි.
උදාහරණ ලෙස ජනවාරි 04 දින ලෝක බ්රේල් දිනය (දෘෂ්‍යාබාධිත ප‍්‍රජාව සදහා), පෙබරවාරී 13 ලෝක ගුවන් විදුලි දිනය, මාර්තු 08 දින ජාත්‍යන්තර කාන්තා දිනය, අපේ‍්‍රල් 07 දින ලෝක සෞඛ්‍ය දිනය, මැයි 23 වෙසක් දිනය, අගෝස්තු 12 ජාත්‍යන්තර තරුණ දිනය, ඔක්තෝම්බර් 01 ජාත්‍යන්තර වැඩිහිටි දිනය, ඔක්තෝම්බර් 05 ලෝක ගුරු දිනය සහ නොවැම්බර් 20 ලෝක ළමා දිනය ආදී ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිළ වශයෙන් ප‍්‍රකාශයට පත් කර ඇත.
Sources: https://www.un.org/en/observances/list-days-weeks
ගෝලීය ලෙසින් ළමුන්ට ගරු කිරීමත් ඔවුන් ලෝකයේ අනාගතය යන අදහසිනුත් ලෝකයේ විවිධ රටවල් ළමා දිනය සැමරුම සඳහා විවිධ දිනයන් භාවිතා කෙරෙයි. මෙසේ දිනයක් වෙන් කළ යුතු යැයි මුලින්ම ප‍්‍රකාශයට පත් කෙරුණේ, 1925 දී පැවැත්වුනු ළමුන්ගේ සුබ-සාධනය පිළිබඳ ලෝක සමුළුවෙහි දීය.
ඉන් අනතුරුව 1954 දී තීරණය වුනේ විශ්වීය වශයෙන් ”සුදුසු” දිනයක් තෝරාගත යුතු බවයි. 1954 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප‍්‍රකාශයට පත් කෙරුණු ළමුන් සදහා වන ලෝක දිනය, සංස්ථාපනය කිරීමේ අරමුණ වූයේ, ළමුන් අතර අන්‍යොන්‍ය හුවමාරුව සහ අවබෝධය දියුණු කර ලීම සඳහාත්, ලෝකයේ ළමුන්ගේ ප‍්‍රයෝජනය සහ සුබසාධනය සඳහා අනුග‍්‍රහය දක්වන ක‍්‍රියාමාර්ග ඇරඹීම සඳහා දිනයක් වෙන් කරන ලෙස සියළු රටවල් උනන්දු කිරීම සඳහාත් ය. ඒ අනුව 1955 ඔක්තෝම්බර් මස 01 වැනිදා ලොව පුරාම ලෝක ළමා දිනය ප‍්‍රථම වරට එකට සමරනු ලැබිය.
ජාත්‍යන්තර එකමුතුකම, ලොව පුරා ළමුන් අතර දැනුවත්භාවය සහ ළමා සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා 1959 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ළමා අයිතිවාසිකම් ප‍්‍රකාශය සම්මත කළ දිනය නිසා නොවැම්බර් 20 දිනය ලෝකයට වැදගත් දිනයකි. 1989 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සම්මත කළ දිනය ද එදිනයි. ඒ අනුව 1990 සිට, ලෝක ළමා දිනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රකාශනය සහ සම්මුතිය යන දෙකම සම්මත කළ දිනය වන නොවැම්බර් 20 දිනය ලෝක ළමා දිනය ලෙස සලකනු ලබයි.
Sources: https://www.un.org/en/observances/world-childrens-day
කෙසේ වෙතත් ලොව පුරාම ලෝක ළමා දිනය ප‍්‍රථම වරට එකට සමරනු ලැබූ 1955 ඔක්තෝම්බර් මස 01 වැනිදායින් අනතුරුව ලොව බොහෝ රටවල් තම රටට ගැලපෙන ලෙස හා විවිධ කරුණු මත ලෝක ළමා දිනයේ සැමරීම සදහා විවිධ දින තෝරා ගනු ලැබූ නමුත් අප රට මුළු ලොවම එක්ව සැමරූ ඔක්තෝම්බර් මස පළමු වන දින ලෝක ළමා දිනය ලෙස සැමරීම එදා සිටම සිදුකරනවා. එසේ වුවත් ශ්‍රී ලංකාවත් සමඟ ලෝක ළමා දිනය සමරන්නේ ලෝකයේ තවත් රටවල් දෙකක් පමණයි. එ් දකුණු ඇමෙරිකානු රටවල් දෙකක් වන ගෝතමාලාව සහ එල් සැල්වදෝරයයි.
එනයින් ගත් කල ළමා දිනය සමරන නිල දිනය රටින් රටට වෙනස් වන අතර, ලෝකයේ වැඩිම රටවල් ගණනක් ළමා දිනය සැමරීම කරනුයේ ජුනි 1 දිනයි. එම රටවල් ගණන 50 ක් වන අතර, චීනය, උතුරු කොරියාව, වියට්නාමය, නැගෙනහිර ටිමෝරය, රුමේනියාව, පෝලන්තය මෙන්ම පැරණි සෝවියට් සංගමයේ ප‍්‍රාන්තවන ආර්මේනියාව, අසර්බයිජානය, බෙලරුස්, එස්තෝනියාව, ජෝර්ජියාව, කසකස්තානය, කිර්ගිස්තානය, ලැට්වියාව, ලිතුවේනියාව, මෝල්ඩෝවා, රුසියාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය, යුක්රේනය, උස්බෙකිස්තානය ඇතුළුව තවත් රටවල් ගණනාවක් මේ අතරට ඇතුලත් වෙනවා.
එ් අතරම, එක්සත් ජාතීන්ගේ සංවිධානය නිළ වශයෙන් ප‍්‍රකාශයට පත් කර ඇති නොවැම්බර් 20 වනදාට ලෝක ලමා දිනය සමරණ රටවල් ගණන 28 ක් වෙනවා. යුනිසෙෆ් ආයතනයත් ලෝක ළමා දිනය ලෙස සලකනු ලබන්නේ නොවැම්බර් මස 20 වනදායි.
https://www.unicef.org.world-childrens-day
ඒ් වගේම අපේ අසල්වැසි ඉන්දියාව ළමා දිනය සමරනු ලබන්නේ නොවැම්බර් මස 14 වනදායි.
මේ සියළු කරුණු සැලකිල්ලට ගත් විට ඔක්තෝම්බර් 01 දිනය ලෝක ළමා දිනය ලෙස හැදින්වුවද එය නියම ලෙසට නම් ශ්‍රී ලංකා ලමා දිනය ලෙසටයිි හැදින්විය යුත්තේ. එයට හේතුව වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඔක්තෝම්බර් 01 දිනය නිළ වශයෙන් ප‍්‍රකාශ කරලා තියන්නෙ ජාත්‍යන්තර වැඩිහිටි දිනය ලෙසට නිසායි. (45/106 යෝජනාව.
International Day of Older Persons (A/RES/45/106)
මේ අනුව ඔක්තෝම්බර් 01 දිනය ලෝක ළමා දිනය ලෙස හැදින්වීම සත්‍ය නොවන අතර ලෝක ළමා දිනය යෙදී ඇත්තේ නොවැම්බර් මස 20 වනදා ය.
Average Rating