පොලිස් කොමිසමත් නොමඟ යැවූ පොලිස් ලොක්කෝ

Read Time:6 Minute, 53 Second

වර්ෂ 1966 සැප්තැම්බර් මස 3 දින ව්‍යවස්ථාපිතව ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා පොලිසිය එළැඹෙන සැප්තැම්බර් මසට වසර 158 ක් සපුරාලනු ලබයි. එවන් මොහොතක මෙරට ජනගහනයේ වැඩිම ප්‍රතිශතයක් නියෝජනය කරන කාන්තාවන්ට නීතිය සාධාරණව ඉෂ්ට වන්නේද යන ගැටළුව පැන නගින බරපතළ තත්ත්වයක් පොලිස් දෙපාර්තමේන්තුව තුළදීම එහි සේවය කරන කාන්තා නිලධාරිනියකට අත්වීමේ ඛේදජනක තත්වයක් වාර්තා වෙයි.

85,000 ක් පමණ වන සමස්ත නිලධාරි සංඛ්‍යාව අතරින් 9,000 කට ආසන්න කාන්තාවන් ප්‍රමාණයක් සිටින මෙරට පොලිස් සේවාවේ දීර්ඝ ඉතිහාසය තුල ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය බවට පත්වූ නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ජාසිං ආරච්චි මහත්මිය මෙසේ සිය දෙපාර්තමේන්තුව තුලදීම අසාධාරණ ට ලක්ව ඇත.

නියෝජ්‍ය පොලිස්පතිනියක් ලෙස ඇය බස්නාහිර පලාත්බාර ප්‍රජා පොලිස්, පරිසර ආරක්ෂණ හා මහජන සාමය කළමණාකරණ දිසාව බාරව රාජකාරී සිදුකල අතර පසුගිය කාලයේ මෙරට ඇතිවූ උග්‍ර විදෙස් විනිමය අර්බුධය හමුවේ රාජ්‍ය නිළධාරීන්ට විදෙස් සේවය සදහා යාමට නිකුත් කල රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව නිසි අනුමැතීන් සහිතව ඇය එක්සත්ජාතීන්ගේ රාජකාරී සදහා පසුගිය වසරේ පිටත්ව යන ලදී.
වසරක එකී රාජකාරී නිමාකර ආපසු මෙරටට පැමිණි විටදී ඇය එතෙක් කටයුතු කල ප්‍රජා පොලිස්, පරිසර ආරක්ෂණ හා මහජන සාමය කළමණාකරණ දිසාව අහෝසි කර ඇති බවත් දැනට ඇයට රාජකාරී කිරීමට නිශ්චිත තනතුරක් නොමැති බවත් පොලිස් පරිපාලන අංශයෙන් දන්වා ඇත.
මේ තත්වය මත ඇය දැනට කිසිදු රාජකාරියක් නොමැතිව පොලිස් මූලස්ථානයේ කාර්යාල කාමරයක නිකරුනේ කාලය ගෙවා දමමින් සිටීන අතර ඇයගේ දැනුමින් පොලිස් දෙපාර්තමේන්තුවට ගතහැකි සේවය අපතේ යමින් ඇත.

මෙරට පීතෘමූලික පොලිස් ප්‍රජාවේ කෙනෙහෙළිකම්වලට ලක් වෙමින් ඉතිහාසයේ ප්‍රථම වරට පිරිමි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 32 දෙනකු විසින් කාන්තාවකට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට තරම් වන තත්ත්වයට පොලිස් සේවය තුළදී පීඩාවට ලක් වූ නියෝජ්‍යය පොලිස්පතිනි බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය ඇයගේ සේවා කාලය තුළදී මෙරට කාන්තා පොලිස් නිලධාරිනියක් ලෙස කාන්තාවක් ලෙස නොමැකෙන සිහිවටන ගණනාවක් තැබූ පොලිස් නිළධාරිනියක් වුවත් ඇයට සැමවිටම එල්ලවූයේ අභියෝගම ය.
වරක් ඇය සියළු සුදුසුකම් සපුරා තිබුනද සහකාර පොලිස් අධිකාරි තනතුර ලබාගැනීමට අධිකරණයේ පිහිට පැතීමට සිදුවිය. ඒ 2008 දීය. එවකට ඇය ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කල අධිකරණය 2013 දී එහි තීන්දුව ලබාදෙමින් ඇයට හිමි උසස්වීම් 2007 වසරේ සිට බලපැවැත්වෙන පරිදි ලබාදීමට නියෝග නිකුත් කරන ලදී.
ඇය සිය වෘත්තීය ජීවිතය තුල ගත් එකී නිර්භය පියවර අනුව යමින් 2016 දී කාන්තා සහකාර පොලිස් අධිකාරීවරු තිදෙනකු මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකලේ ඒ වනවිටදී එක් කාන්තා ජේයෂ්ඨ පොලිස් අධිකාරි තනතුරක් පමණක් තිබීම තුල දෙපාර්තමේන්තුව තුල තම වෘත්තීය ප්‍රවර්ධනය සදහා සම අවස්ථාවන් නොමැති බව සදහන් කරමිනි.
එහි ප්‍රථිපලයක් ලෙස 2020 දී නිළධාරිනියන් 08 දෙනකු කාන්තා ජේයෂ්ඨ පොලිස් අධිකාරි නිළයට උසස් කිරීමට පියවර ගත් පොලිස් දෙපාර්තමේන්තුව 2021 ඔක්තෝම්බර් මසදී කාන්තා ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරියන් තිදෙනකු කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරන ලදී.

වීරකැටිය, ගල්පොත්තයාය ප්‍රදේශයේ උපත ලැබූ බිම්ෂානී, රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර ඇයගේ පොලිස් දිවියේ මුල්ම රාජකාරි ස්ථානය වන්නේ වවුනියාව පොලිස් ස්ථානයයි. ඉන්පසු වසර ගණනාවක් පුරා විවිධ ස්ථානවල සේවය කල ඇය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ළමා සහ කාන්තා අපයෝජන අංශය, පොලිස් පුහුණු කිරීම් අංශය, ප්‍රභූ ආරක්ෂක හා පරිපාලන රාජකාරිවල ද නිරත වීය.

වර්තමානයේ කිසිදු රාජකාරියක් නොමැතිව පොලිස් මූලස්ථානයේ කාර්යාල කාමරයක කොටුවී සිටින ඇය මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිශන් සභාවට පමිණිලි කර ඇති අතර එහි දී හෙලිවී ඇත්තේ පොලීසියේ ඉහල නිලයන් කිහිපයක් පොලිස් කොමිසමට පවා වැරදි තොරතුරු ලබාදී මෙසේ ඇය රාජකාරී කල බස්නාහිර පලාත් ප්‍රජා පොලිස්, පරිසර ආරක්ෂණ හා මහජන සාමය කළමණාකරණ දිසාව අහෝසි කර ඇති බවකි. මේ තත්වය සම්බන්ධයෙන් ඇය විසින් මේ වන විටදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් එළඹෙන 10 දින විභාග කිරීමට නියමිතව ඇති බවයි දැනට වාර්තා වන්නේ.

වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ද ඒ අවනඩුව යන ඉපැරනි ප්‍රස්ථා පිරුල සිහිගන්වන ආකාරයේ තත්වයකට මුහුණ දී ඇති නියෝජ්‍යය පොලිස්පතිනි බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය හට සාධාරණයක් ඉෂ්ඨවනු දැකීම මෙරට නීතීය අගයන සියළු පුරවැසියන්ගේ අපේක්ෂාවයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *