දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්.

Read Time:5 Minute, 7 Second

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින්, කාදිනල් මැල්කම් රංජිත් රදගුරු හිමිපාණන් ඇතුළු පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබ තිබෙනවා. ඒ අනුව, අදාළ පෙත්සම් විභාග කර අවසන් වන තෙක් ඔහු පොලිස්පති ලෙස කටයුතු කිරීම වලක්වාලමින් නිකුත්කල මෙම අතුරු තහනම් නියෝගය බල පැවැත්වෙනවා.
ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කරනු ලැබීය.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක මූලික විමසීම් දින හයක් පුරා පැවැත්වීමෙන් පසු අද (24) පෙරවරුවේ එහි නියෝගය ප්‍රකාශයට පත් කරමිනුයි අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ.

යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදුවුණා.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, ජනාධිපති නීතිඥ ජෙෆ් අලගරත්නම්, ජනාධිපති නීතිඥ විරාන් කොරයා, නීතිඥ සුරේන් ප්‍රනාන්දු, නීතිඥ තිෂ්‍ය වේරගොඩ සහ නීතිඥ ලක්ෂාන් ඩයස් ඇතුළු පිරිසක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියා. වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා, ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් හතර දෙනකු වෙනුවෙන් නීතිඥ අර්මිසා ටීගල් සහ නීතිඥ බිනුර ගුණරත්නත්, ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් හා නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේත් කරුණු දැක්වූවා.

ගාලු මුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් වන අපරාධ නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන්නැයි නීතිපති දැනුම් දුන් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස තවදුරටත් තබා ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම ඉල්ලීම පුදුම සහගත බව කරුණු දැක්වීම් අතරතුර දී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙන්වා දුන්නා. එසේම ඔහුගේ පත්වීම ව්‍යවස්ථාවට අනුව සිදුවී නැති බවත්, කතානායකවරයා ජනාධිපතිට අදාල තීන්දුව දැනුම් දී ඇත්තේ අනියමාර්තයේ අසම්භාව්‍ය ක්‍රියාවෙන් බවත් නීතිඥ තිෂ්‍ය වේරගොඩ අධිකරණයට පෙන්වා දී තිබුණා. එමෙන්ම, නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම ව්‍යවස්ථා සභාව අනුමත කර නැති පසුබිමක ඔහු පොලිස්පති ලෙස පත් කිරීම මගින් ජනාධිපතිවරයා මහජන විශ්වාසය කඩ කර ඇති බවයි.

පෙත්සම්වලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති හයක් තුළ ගොනු කිරීමට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම් නැවත නොවැම්බර් මස 11 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළේය.

මෙම පෙත්සම් සලකා බැලීම දින ගණනාවක් තිස්සේ නියමිත අධිකරණ රාජකාරී කාලසීමාව අභිබවා ගොස් පැවැත්වීමට සිදු වූ බව පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණයට ලබා දුන් එම සහයෝගය සම්බන්ධයෙන් සියලු නීතිඥවරුන්ට ස්තුතිය පළ කරන බවත් කියා සිටියේය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *