ලංකාවේ ළමා නළු නිළියන් සහ ලෝකයේ ළමා නළු නිළියන්
මේ දවස්වල සමාජයේ බොහෝ දෙනෙකු අතර කථාබහට ලක්වෙන මාතෘකාවක් තමයි රූපවාහිනී නාළිකාවක ප්‍රචාරණය වන කථාමාලාවක සාමනේර හිමිනමකගේ චරිතය නිරූපණය කරන කුඩා දරුවෙකු සැබෑ ජීවිතයේදී මහන දිවියට ඇතුලත්වීම.
මේ සම්බන්ධව සමාජයේ විවිධ පාර්ශව විවිධ මතිමතාන්තර පල කල සිටියා. ඒ බොහෝ අදහස් මතවාද සලකා බැලීමේදී පෙනීයන දෙයක් තමයි බහුතරයක් අදහස් තර්කානූකූල බවකින් නොමැතිව තම පුද්ගලික හැගීම් ආකල්ප මත පිහිටා කල ඒවා බව.
මේ ආකාරයට බුද්ධියට නොව හදවතට අවස්ථාව ලබාදීමෙන් වැරදීම් ගණනාවක් සිදුකර ගත්තද මෙරට බහුතර ජනතාව තවමත් ආගම හා සත්‍යය පටලවා ගන්නා බව පෙනේ.
කිසියම් ආගමක් හෝ දහමක් යනු මිනිසුන් මානව ධර්මතා අනුව ජීවත්වීමට යම් මගපෙන්වීමක් කරන්නාවූ දෙයක් මිස එය ලොව සියළුම දෙයෙහි අග්‍රස්ථානය නොවන බව ලාංකීය ජනතාව තවමත් අවබෝධකරගෙන නොමැත.
විශේෂයෙන්ම මෙරට ප්‍රධාන ආගම වන බුද්ධාගම සම්බන්ධව ගත් කල්හී එයට රාජ්‍ය ආරක්ෂාව හා අනුග්‍රහය ව්‍යවස්ථාවෙන්ම ලබාදීම තුල බොහෝ පිරිස් එකී ආගම අවභාවිතා කරමින් විවිධ සදාචාර විරෝධී කටයුතු කරන අවස්ථා ගණනාවක්ම පසුගිය කාලසීමාවතුල හෙළිදරව් විය. මෙය සමාජ මාධ්‍ය නිසා තවත් ප්‍රබලව පැතිර ගිය අතර අතීතයේදීත් එවැනි සිදුවීම් සිදුව ඇති නමුත් ඒවා සමාජ ගතවීමට අවස්ථාවක් නොලද නිසා යටපත්ව ගිය බව නම් පැහැදිලිය.
දැන් අපි යලිත් අපගේ ප්‍රස්තුතය වන ළමා නළු භූමිකාව ගැන අවධානය යොමුකල හොත් විදේශීය රටවල මේ සම්බන්ධ උදාහරණ ගැන සැලකීමේදී,
ඊශ්‍රායලයේ උපත ලද ඇමරිකානූ රංගන ශිල්පිණියක් වන නැටලී පෝර්ට්මන් (හර්ෂ්ලග්) Natalie Portman (née Hershlag) සිය මුල්ම චිත්‍රපටය වන Leon: The Professional හී රගපාන විටදී ඇයගේ වයස අවුරුදු 12 කි. එමෙන්ම,
ඇමරිකානූ රංගන ශිල්පිණියක් වන ඇලීෂියා ක්‍රිස්ටියන් ජෝඩී ෆොස්ටර් (Alicia Christian “Jodie” Foster) ක්‍රියාදාම චිත්‍රපටයක් වන ටැක්සි ඩ්‍රයිවර් (Taxi driver) හී රගපාන විටදී ඇයටත් වයස අවුරුදු 12 කි.
මේ ළමා රංගන ශිල්පීනියන් එකී චිත්‍රපටවලට රංගනයෙන් දායක වීමේදී ඔවුන් සම්බන්ධයෙන් සොයාබැලීම සදහා සත්කාරක සේවකයන්, උපදේශන සදහා උපදේශිකාවක් (Counselor) සහ ඔවුන්ගේ දෙමාපියන්ද රූගත කරන ස්ථානයේ සැමවිටම රැදී සිට ඇත.
සෑම දර්ශනයක්ම රූගත කිරීමෙන් පසුව ඔවුනට සිය සුපුරුදු ළමා ගතියෙන් සිටීමට අවශ්‍ය වටපිටාව හා පහසුකම් අදාල චිත්‍රපට කණ්ඩායම සලසා දී තිබුනා.
මෙම චිත්‍රපට රූගතකර අවසන් වීමෙන් පසුව ඔවුන් දෙදෙනාම විශේෂිත වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර ඔවුන්ගේ මානසික තත්වය ගැන අවධානය යොමු කිරීමට මෙන්ම විශේෂිත උපදේශන සේවා පවා ලබාදීමට අදාල චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරු කටයුතු කර තිබෙනවා.
අද වන විට ඔවුන් දෙදෙනාම ලෝක සම්මානයට පාත්‍රවුනු සුප්‍රසිද්ධ රංගන ශිල්පිණියන් බවට පත්වීමට ඉවහල් වූයේ ඔවුන්ගේ ළමා කාලයේ කරන ලද රංගනයන් සැබෑ ජීවිතයට ආදේශ කර ගැනීමට අදාල චිත්‍රපට නිෂ්පාදකයන් මෙන්ම ඒ රටවල පවතින නීතීරීතී මගින්ද ඉඩක් නොතිබූ නිසායි.
නමුත් අවාසනාවකට අපේ රටේ රංගනයට පමණක් නොව කිසිදු දෙයකට ළමුන් යොදා ගැනීමේදී කලයුතු දේ ගැන ඇත්තේ ඉතාමත් අල්ප වූ අවධානයකි. ඒ නිසාම වසර 5 කට අධික කාලයක් පුරා ඇදී ගිය රූපවාහිනී නාට්‍යයක සාමනේර හිමිනමකගේ චරිතය රගදැක්වූ දරුවා තමන්ට දර්ශන තලයේදී භික්ෂුවකට ලැබෙන ගරුත්වය හා සැලකීම සමගම දර්ශන තලයෙන් මෙපිට සමාජයේ දී නාට්‍යයේ භික්ෂූ චරිතය නිසා ලැබෙන්නාවූ පිළිගැනීම නිසා එය තම ජීවිතයේ පූර්වාදර්ශය කොටගෙන එම ගරුබුහුමන් පුදසැලකිලි දිගටම ලැබීමේ කුඩා මනසට ලද ආශාව නිසාම මහන දිවියට ඇතුලත්වීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමක් ලෙස දකින මෙලක ජනී ජනයාට දහම් සුවයෙන් වත් බුද්ධිය පහල වේවායි පතනු හැර කල හැකි වෙනකක් නොදකිමි.
අවාසනාවන්ත තත්වය නම් මෙරට මාධ්‍ය තම ව්‍යාපාරවල ලාභය වෙනුවෙන් ඕනෑම කුණු කන්දලයක් අයිසින් තැවරූ කේක් ගෙඩියක් කිරීමත් එය මෙරට හුදී ජනයා දෝත දරා පිළිගැනීමත්ය.
Sources
https://en.wikipedia.org/wiki/Jodie_Foster
https://en.wikipedia.org/wiki/Taxi_Driver
https://en.wikipedia.org/wiki/Natalie_Portman
https://en.wikipedia.org/wiki/L%C3%A9on:_The_Professional
Average Rating